දැවැන්තම යුද නෞකාව හදිසි ගින්නකින් මුහුදු බත්වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්තම යුද නෞකාව වන "කාර්ග්" නම් නෞකාව, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදේ ගිලී තිබෙනවා. මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන මාධ්‍ය වාර්තා අනුව ඊයේ (01) පස්වරුවේ කාර්ග් නම් මෙම නෞකාව ජැස්ක් වරාය අසළ පුහුණු මෙහෙයුමක නිරතව සිටියදීයි අනතුරට පත්ව ඇත්තේ. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් කොපමණ උත්සහ දැරුවත් එය සාර්ථක වී නැහැ.
පැය 20ක මෙහෙයුම් අඩාල වීමෙන් අනතුරුව අද උදෑසන මෙම දැවැන්ත නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිලී තිබෙනවා.
ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර, ගින්න හටගන්නා අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ සිසුන් 400 ක් පමණ සිටි බව සඳහන්.
ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ නැවියන් 20 දෙනෙකුට පිළිස්සුම් තුවාල ඇති වූ නමුත් කිසිවෙකුට බරපතල තුවාල සිදුව නොමැති බවයි. කෙසේ වෙතත්, ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ සංචරණය වෙමින් පවතිනවා.
කාර්ග්, ඉරානය සතු දැවැන්තම නෞකාව වන අතර, මෙය ඉරානයට සිදුවූ දැවැන්තම ව්‍යසනය බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ. ගින්න හටගත් නෞකාව තුළ අධීවේගී මිසයිල ප්‍රහාරක යාත්‍රා හතක් පමණ තිබූ බවත් සඳහන්.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |