ආරක්ෂක හේතු මත කල් දමපු කමේනිගේ අවමංගල්‍යයේ සියලු රහස් සැලසුම් එළියට
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය කටයුතු දින තුනක රාජ්‍ය උත්සව මාලාවක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල් ඒකාබද්ධ යුද මෙහෙයුමක පළමු දිනයේදී මියගිය බව සඳහන් වන අයතුල්ලා කමේනිගේ අවමංගල්‍ය වැඩසටහන සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් නව තොරතුරු නිකුත් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව මරණයෙන් දින කිහිපයක් ඇතුළත අවමංගල්‍ය කටයුතු සිදුකරනු ලැබුවද, ආරක්ෂක සහ සංවිධානමය හේතු මත මෙම අවමංගල්‍ය කටයුතු කල්දැමීමට සිදුවූ බව ඉරාන නිලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඉරාන රාජ්‍ය විකාශන සේවය වන IRIB වෙත අදහස් දක්වමින් ටෙහෙරානයේ සංස්කෘතික හා සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අමීන් ටවකොලි-සාදේ සඳහන් කළේ අවමංගල්‍ය උත්සව, මහජන ගෞරව දැක්වීම් සහ භූමදාන කටයුතු සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
ඔහු පවසන පරිදි, ටෙහෙරාන්, කොම් සහ මෂාඩ් යන නගර කේන්ද්‍ර කරගනිමින් දින තුනක මහජන අවමංගල්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ටෙහෙරානයේ පැවැත්වෙන ප්‍රධාන අවමංගල්‍ය පෙරහැර පමණක් පැය 24කට අධික කාලයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම අවස්ථාව සඳහා මිලියන 20කට ආසන්න ජනතාවක් සහභාගී විය හැකි බවට ද ඉරාන බලධාරීන් අපේක්ෂා පළ කර ඇත.
ටෙහෙරානයේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව දේහය ශුද්ධ වූ කොම් නගරය වෙතත්, පසුව මෂාඩ් නගරය වෙතත් රැගෙන යාමට නියමිත බව සඳහන් වේ.
අවසාන භූමදාන කටයුතු ඊසානදිග ඉරානයේ පිහිටි මෂාඩ් නගරයේ ඉමාම් රේසා (අ.ස.) සිද්ධස්ථානයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද ඉරාන නිලධාරීහු ප්‍රකාශ කරති.