ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර, ඒ නිසා දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරයි.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙයි.
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව ට ද අනතුරු අඟවා ඇත.
කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත් එය දැනට 10.1N සහ 83.5E ආසන්නයේ පිහිටා ඇති බවත් සඳහන්.
එහි බලපෑමෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35) පමණ වන බව සඳහන්.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව දන්වයි. එසේම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බව ද සඳහන්.