රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කරන්න යන දේ..
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම එළැඹෙන වසරේ ජනවාරි හෝ පෙබරවාරි වන විට සිදුනොවන්නේ නම් නැවත අරගලයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසා සිටිනවා.
එම සංවිධානයේ ප්‍රධාන භාණ්ඩාගාරික විජිත උබේවර්ණ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරණයට පෙර පැවසූවත් ඔහු දැන් ක්‍රියා කරන්නේ එවැනි යමක් නොපැවසූ ආකාරයට බවයි.
ඊයේ(07) කොළඹ පිටකොටුවේ පිහිටි ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්, ඔහු මේ පිළිබඳ පවසා සිටියා.
ඔහු එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්කිරීමට මූලික වූයේ රාජ්‍ය සේවකයන් බැවින් ඔවුන්ගේ ගැටලු විසඳීම වර්තමාන රජයේ ප්රමුඛ කාරයයක් විය යුතු බවයි.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේද ප්‍රකාශ කළා.
'' අද රාජ්‍ය සේවකයන්ට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඔවුන් ජීවත් වන්නේ බොහොම අමාරුවෙන්. අපි කියන්නේ නැහැ මේ තුන්දෙනෙක් ඉන්න ආණ්ඩුවකින් වැටුප් වැඩි කරලා දෙන්න කියලා.
අපි කියන්නේ නව රජයක් පත් වුණාම මැතිවරණයෙන් පසු අපේ ඉල්ලීම් ඉටු කරන්න කියල. එහෙම නැති වුණොත් අපි පාරට බහිනවා ''
මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා මෙසේ ද ප්‍රකාශ කළේ ය.
'' ජනාධිපතිවරයා කිව්වා පවතින ආර්ථික තත්ත්වය සමග බලලා වසරේ මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධන කරනවා කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන් වෙලා තිබුණා ඒ ගැන.
අපි කියන්නේ රටේ ආර්ථික තත්ත්වය බල බල හිටියොත් නම් වැටුප් වැඩි කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රටක් විදියට ඉදිරියට යනකොට වැටුප් ගැටලුවටත් ඒ එක්කම පිළිතුරු දෙන්න කියන එක අපි ඉල්ලනවා.
අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට නිශ්විතව වැටුප් වැඩිකළේ 2015 විතරයි. මේ වෙද්දී අවුරුදු නවයක් ගිහින් තාම වැඩි කරලා නැහැ.
මීට පෙර රට පාලනය කළ ආණ්ඩු කළේ දීමනා දුන්න එක විතරයි රාජ්‍ය සේවකයන් රවටන්න. නමුත් නිශ්චිත වැටුප් වැඩිවීමක් වෙලා නැහැ
'' එමෙන්ම මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නලින්ද හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ, පසුගිය ජනාධිපතිවරණයේ දී සුළැඟිල්ලේ තැබූ තීන්ත මැකෙන්නත් පෙර ආණ්ඩුව මහා මැතිවරණය කැඳවා තිබුණ ද ඔවුන් යන්නේ ද රනිල් වික්‍රමසිංහ ගිය පාරේම බවය.
අනුර කුමාර දිසානායක කටයුතු කරන්නේ ද රනිල් වික්‍රමසිංහ රට පාලනය කළ ආකරයටම බව ද ඔහු කියා සිටියා.
හෙතම වැඩිදුරටත් කියා සිටියේ, එළැඹෙන මහා මැතිවරණයේදී ජනතාව වඩාත් කල්පනාකාරීව තම මනාපය ලබාදිය යුතු බවයි.