වෛද්‍යවරුන් සැර වෙයි - වැඩවර්ජනයකට සූදානම?

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි ක්‍රියා මාර්ග. ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යනු මෙරට ඕනෑම පාලකයකුගේ සහ රජයක අත්හළ නොහැකි වගකීමකි. රට තුළ පැවති හෝ පවතින ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී වුවද, අඛණ්ඩව ක්‍රියාත්මක වන මේරට සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිය සහ යාන්ත්‍රණය තුල ඉහළම් ප්‍රමුඛතාවය ඉතිහාසය පුරා ලබා දී ඇත. එහෙත් පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ, මෙරට සෞඛ්‍ය සේවයේ සැබෑ ගැටලු හඳුනා ගැනීමක් හෝ ඒවාට විසඳුම් ලබාදීමක් සිදු නොවුනු බව සියලු දෙනා ඒකමතිකව පිළිගත් කරුණකි. ඒ අනුව නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනාවලිය පදනම් කර ගනිමින්, සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ට ආර්තික යුක්තිය ඉටු කිරීම ඇතුලු ගැටලු වලට ඉල්ලා සිටි විසඳුම් ලබාදීම සඳහා එකඟ වූ කාල රාමුවක් ද සහිතව ලිඛිතව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂයේ තුන්වන වර කියවීමේ ස්වකීය පිළිතුරු කතාවේදී, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීමට, 22/99 චක්‍රලේඛයට අනුකුලව ප්‍රවාහන ගැටලු විසඳීමට, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීමට රජයේ ප්‍රතිපත්තිම එකඟතාවය ප්‍රකාශයට පත් කළ අතර, සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහි කිරීමට එකඟ වූ රජයේ ප්‍රතිපත්තිමය තීරණය ද ප්‍රකාශයට පත් කරන ලදී. එම ප්‍රතිපත්තින් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය සාකච්ඡා අද දින (2025. 01.05) සිට ආරම්භ කිරීමටත්, මාස 03 ක කාලයක් තුල විසඳුම් ප්‍රකාශයට පත් කිරීමටත් ලිඛිතව එකඟතාවය ලබාදෙන ලදී. එම එකඟතාවයන් ඉටු කිරීම උදෙසා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එකඟ වූ නමුත්, එම එකඟතාවයක් පවා කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනී යයි. වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අද දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සාකච්ඡා මාලාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද දැනුම්වත් කර තිබුනද, එම සාකච්ඡා පැවැත්වීම හෝ ආරම්භ කිරීම උදෙසා අවශ්‍ය මූලික පසු බිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අදාල පාර්ශවයන් විසින් සිදු කිරීමට අසමත්ව ඇත. සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු කලද, රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳ වැටෙන සුලු හැසිරීම සහ වැඩපිළිවෙල හේතුවෙන්, සෞඛ්‍ය පද්ධතියේ අනාගතය පිළිබඳ අවදානමක් නැවත මතු වී ඇත. ඒ තුල වත්මන් රජයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳව ද සාධාරණ සැකයක් මතු වෙමින් පවති. රාජ්‍ය කරණයේ මුලික හර පද්ධතින් පවා උල්ලංඝනය කරමින් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය කඩ කරමින් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, නැවත වෘත්තීය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් වුවද තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවනු ඇති අතර, පවතින ප්‍රවණතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්, එළඹෙන බදාදා (07. 01. 2026) දින කැඳවීමට, අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේ තීරණය කරන ලදී. රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියා මාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බව ද අවධාරණය කරමු