දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජ්‍යේෂ්ඨතම සාමාජිකාව සමුගනී- වසර 30ක් ආයු විඳි ගැහැණු ජිරාෆ් සත්වයා මියයයි
දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ (18) රාත්‍රියේ දී මියගොස් ඇත මෙම ජිරාෆ් සත්ත්වයා මිය යන විට වයස අවුරුදු තිහකට ආසන්න වේ.
සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකිය. ඒ අනුව, මෙම ජිරාෆ් සත්ත්වයා දිගු ආයු කාලයක් භුක්ති විඳ ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .
මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නො තිබූ අතර, සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වන බව ද දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) සිදු කිරීමට නියමිතව ඇත .
සත්වෝද්‍යාන පරිසරයක් තුළදී සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පෝෂ්‍යදායී හා සමබර ආහාර ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්වයා හට වසර තිහකට ආසන්න කාලයක් වැනි දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකියාව ලැබී තිබේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතව ඇත .