මුදල් ගන්න ATM යන්ත්‍රයකට කුළුගෙඩියෙන් ගහලා

ATM Galle private bank devata
By Sithumi Jun 20, 2021 10:29 AM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල, දෙවට ප්‍රදේශයේ ඇති පුද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අද (ජූනි 20) අලුයම පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කුළු ගෙඩියකින් පහරදී එම යන්ත්‍රයට අලාබ හානි කර ඇතැයි ගාල්ල, වරාය පොලිසිය පවසයි.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අසල පිහිටි ආපන ශාලාවක රාජකාරියේ නිරතව සිටින ආරක්ෂක නිලධාරියෙකුට අද අලුයම දෙකට පමණ කිසියම් දෙයකට පහර දෙන ශබ්දයක් ඇසී ඇති බවය.

ඒ අනුව, එම ආරක්ෂක නිලධාරියා එහි ගොස් ඇති අතර එම අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනකු කුළු ගෙඩියකින් ඒ.ටී.එම්. යන්ත්‍රයට පහර දෙන අයුරු දැක ඇත.

ඒත් සමග ම එම පුද්ගලයින් දෙදෙනා පළා ගොස් ඇති අතර ආරක්ෂක නිලධාරියා සිද්ධිය පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල, වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.