ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට පහරදීමක්
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ පිහිටි ඉන්ධන හලක පොම්පකරුවෙකුට මෝටර් රථ රියදුරෙකු විසින් කම්මුලට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අද (22) දින ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ලියාපදිංචි අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහන සඳහා පමණි. එහෙත් ඔත්තේ සංඛ්‍යාවක් සහිත අංක තහඩුවක් තිබූ මෙම මෝටර් රථයට ඉන්ධන ලබාදීම පොම්පකරු විසින් ප්‍රතික්ෂේප කර ඇත.
එහිදී උරණ වූ රියදුරු, මෝටර් රථයේ වම්පස අසුනේ සිටි කාන්තාව පෙන්වා ඇය "තෙල් සංස්ථාවේ නිලධාරිනියක්" බව පවසා බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කර තිබේ.
එය ද ව්‍යර්ථ වූ තැන රියදුරු විසින් පොම්පකරුට පහර දී ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ලබාගෙන, සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීමට කැස්බෑව පොලිසිය කටයුතු කරමින් සිටී.