අමෙරිකානු උප ජනපති වෑන්ස්ගේ පාකිස්ථාන සංචාරය අවලංගු කෙරේ
ඉරානය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දීමට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉස්ලාමාබාද් නුවර බලා යාමට නියමිතව තිබූ සංචාරය අවලංගු කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙක් ප්‍රකාශ කර ඇති බව CNN පුවත් සේවය සඳහන් කරනවා. එසේම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනට අවිනිශ්චිතතාවයක් පවතින බවටයි සඳහන් වෙන්නේ.
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ජැරඩ් කුෂ්නර් එක්ව ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු දූත පිරිසකට නායකත්වය දීමට සැලසුම් කර තිබුණා.
"ඉරාන පාර්ශවයෙන් ඒකාබද්ධ යෝජනාවක් ලැබෙන තෙක් අමෙරිකා එක්සත් ජනපදය බලා සිටින බව තහවුරු කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් තැබූ 'Truth Social' සටහනට අනුව, අද දිනයේ පාකිස්ථාන සංචාරය සිදු නොවනු ඇත.
පුද්ගලිකව හමුවී පවත්වන සාකච්ඡා පිළිබඳ ඉදිරි තොරතුරු ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත," යනුවෙන් එම නිලධාරියා නිවේදනයක් නිකුත් කරමිනුයි සඳහන් කර ඇත්තේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, තමා "බරපතල ලෙස බිඳ වැටී ඇති" ලෙස හැඳින්වූ ඉරාන රජයෙන් "ඒකාබද්ධ යෝජනාවක්" ලැබෙන තෙක් දැනට පවතින සටන් විරාමය දීර්ඝ කරන බවයි.