ප්‍රේමලාල් ජයසේකරට ඇප
නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මහතා ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා අද දින මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරිණි.
මීට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමටත්, අදාළ ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ භාරයේ තබා ගැනීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පසුගිය 21 වනදා පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළියේ සංචාරයක නිරතව සිටියදී ඇති වූ ආරවුලක් මත, 1996 ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබුණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ තම සේවාදායකයා එවැනි වරදක් සිදු කර නොමැති බවයි. නඩුව නැවත සැප්තැම්බර් 14 වනදා කැඳවීමට නියමිතය.