රටවල් රැසක ඉන්ධන මිල ඉහළට

Report

ඉරාන ඇමෙරිකා යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ ගියා.

ඊයේ දිනයේ දී එහි මිල ඇමෙරිකා ඩොලර් 120 සීමාවට ලංවුවද මේ වන විට යළි පහළ බැස තිබෙනවා.

එහෙත් යුධ ගැටුම් ආරම්භයට පෙර පැවති මිලට සාපේක්ෂ්ව ඉහළ අගයකයි බොරතෙල් මිල පවතින්නේ.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල 35%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති පසුබිමක ශ්‍රී ලංකාව ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට 8%ක් වැනි අවම මට්ටමකින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තා.

ඉරාන ඇමෙරිකා යුධ ගැටුම් ආරම්භයේ දී ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 70 සීමාවෙයි.

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

ඊයේ දවස වන විට එය ඇමෙරිකා ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර නැවත එය ඇමෙරිකා ඩොලර් 98 දක්වා පහත බැස්සා.

අද උදෑසන වන විට ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 90යි ශත 49 දක්වා පහත බැස තිබුණා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 94යි ශත 42 දක්වා ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 110යි ශත 20 දක්වා ද පහත බැස තිබුණා.

ස්වභාවික ගෑස් ඒකකයක මිල සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 3යි ශත 12ක් ලෙසයි. මිල ගණන් පහළ ගිය ද යුද ගැටුම් ආරම්භ වීමට ප්‍රථමයෙන් තිබු තත්ත්වයට වඩා ඉහළ මට්ටමකයි තවමත් බොරතෙල් මිල පවතින්නේ.

යුද ගැටුම් ආරම්භයට පෙර ඇමෙරිකා ඩොලර් 70කට ආසන්න මට්ටමේ මිල පැවතිය ද අද උදෑසන වන විට එය පවතින්නේ ඇමෙරිකා ඩොලර් 90 සීමාවේයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහන නෞකාවලට ගමන් කිරිමට බාධා පැමිණීම , බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීම , ඉරානය හා ගල්ෆ් රටවල ඉන්ධන ගබඩා සංකිර්ණ වෙත ප්‍රහාර එල්ල වීම ඇතුලු කරුණු රැසක් හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ මට්ටමක රැඳී පවතිනවා.

යුද ගැටුම් ඉතා ඉක්මනින් අවසන් වන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගයි අද උදෑසන වන විට බොරතෙල් මිල යම් පහත බැසීමකට ලක්ව තිබුණේ.

ලොව සෑම රටක් සතුවම ඉන්ධන සංචිත පැවතිය ද ලෝක වෙළපොලේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව එම රටවල ඉන්ධන මිල ඉහළ දැමීමට අදාළ රටවල් පියවර ගත්තා. වසර දෙකකට පමණ පසු පෙරේදා දිනය වන විට බොරතෙල් මිලේ ඉහළම අගය සටහන් සටහන්වුවා.

පසුගිය සතිය තුළදී පමණක් ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල සියයට 35කින් ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 1983 වසරෙන් පසු බොර තෙල් මිල එකවර වැඩිම අගයකින් ඉහළ ගිය අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා.

මේ අතර ඉදිරි සති කිහිපය දක්වා ඉරාන ඇමෙරිකා යුද ගැටුම් පැවතුන හොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට කටාර් බලශක්ති අමාත්‍යවරයා පසුගියදා අනතුරු ඇඟවූවා.

එමෙන්ම ගල්ෆ් රටවල බොරතෙල් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළදී අත්හිටුවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවා සිටියා. වසර දෙකකට පමණ පසු මේ වනවිට ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහළම අගයකට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් ගෝලීය ආර්ථිකය කඩා වැටීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමග ගෝලීය වශයෙන් ඉන්ධන මිල පමණක් නොව ආහාර හා සියලු ආනයනික භාණ්ඩ මිල ඇතුළු වෙළදපලේ සියලු භාණ්ඩයන්හි මිල ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව පාකිස්තානයේ පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 55කින් ඉහළ දැමීමට එරට රජය පියවර ගත්තා. පාකිස්තාන ඉතිහාසයේ ඉන්ධන මිල වැඩිම අගයකින් ඉහළ දැමූ අවස්ථාව ද මෙයයි.

එරට ඩීසල් මිල පාකිස්තාන රුපියල් 280යි සත 86 සිට 335 සත 86 දක්වා ද පෙට්‍රල් ලීටරයක මිල 266යි සත 17 සිට 321යි සත 17 දක්වා ඉහළ දැමුණා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පාකිස්තාන ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වයිස් මලික් ඇතුලු රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරුන් සඳහන් කළේ මිල ඉහළ ගිය ද රට තුළ ප්‍රමාණවත් තරම් ඛනිජ තෙල් සංචිත පවතින බවයි.

2025 වසරේ අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ඉන්දියාවේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ ගියා.

ඒ අනුව කිලෝග්‍රෑම් 14.2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 60කින් ඉහළ දැමීමටයි පියවර ගත්තේ.

බලශක්ති හිගයක් නොමැති බවත් ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන බවත් ඉන්දීය ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

වසර 40කට පමණ පසු විශාලතම ඉන්ධන මිල ඉහළ යාමට ඕස්ට්‍රේලියාව මුහුණ දුන්නා. දශක 4කට ආසන්න කාලයකින් ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමේ සිදුවූ දැවැන්තම වැඩිවීම මෙය ලෙසයි සැලකෙන්නේ.

පෙරේදා දිනයේ දී ඕස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයක් ඕස්ට්‍රේලියා ඩොලර් දෙකයි සත දහනවයකින් ඉහළ ගියා. මිල ගණන් ගෝලීය වශයෙන් තීරණය වන අතර එයට බදු ප්‍රවාහන වියදම් හා ආන්තික වියදම් එකතුවන අතර ඛනිජ තෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලරයකින් ඉහළ යන විට ඉන්ධන ලීටරයක මිල සතයකින් පමණ ඉහළ යන බව ද ඕස්ට්‍රේලියා ආර්ථික විද්‍යාඥ ෂේන් ඔලිවර් සඳහන් කළා.

මේ අතර ඊයේ දිනයේ දී ඉරාකය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට පියවර ගත්තා. ඒ ඔවුන්ගේ ගබඩා ඉඩකඩ අවසන් වීම හේතුවෙනුයි. ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ යාමට එය ද හේතුවනවා.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝක තෙල් සැපයුමේ සියයට 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය වන අතර ගැටුම් තත්ත්වය හේතුවෙන් සැපයුම් බාධා එල්ල වීමද රක්ෂණ ගාස්තු හා ප්‍රතිරක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් නැව් ගාස්තු ඉහළ යාම ද මිල ඉහළ යාමට මූලික ලෙස බලපා තිබෙනවා.

අනාගතයේ මිල වැඩි වේ යැයි සිතා නිර්මාණය වන අධික ඉල්ලුම හමුවේ ද මිල ඉහළ යාම සිදුවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් ඊයේ දිනයේ දී හදිසි රැස්වීමක් පැවැත්වූවා.

එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟතාව පළ වු බවද සඳහන්.

ඇමෙරිකාව එම යෝජනාව සහයෝගය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සමගයි ඊයේ සන්ධ්‍යාව වන විට ඇමෙරිකා ඩොලර් 120ට ආසන්නව තිබු බොරතෙල් මිල ඇමෙරිකා ඩොලර් 103 දක්වා පහත වැටුණේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ගෝලීය කොටස් වෙළෙඳපොල ද කඩා වැටීමට ලක්වුණා.

ඉරාන , ඇමෙරිකා යුධ ගැටුම් මධ්‍යයේ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල උච්චාවචනයට ලක්වුව ද ලොව පුරා රටවල් රැසක පසුගිය සති දෙක තුළ දී ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකාව ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල 8%කින් ඉහළ නැංවුවා.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල 35%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් හමුවේයි ශ්‍රී ලංකා 8%ක් වැනි අවම මට්ටමකින් ඉන්ධන මිල ඉහළ නංවා තිබෙන්නේ.

වෙනත් රටවල් හා සසදා බලන විට ද මෙම මිල වැඩි කිරීම ඉතා අවම මට්ටමකයි පවතින්නේ. කලාපයේ තවත් ප්‍රධාන රටවල් ගත් විට පාකිස්තානය ඉන්ධන මිල 21%කින් වැඩිකර තිබෙනවා.

වියට්නාමය 19%කින් ද ඇමෙරිකාව 13%කින් ද ඉන්ධන මිල ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. නවසීලන්තය 12%කින් ද යුක්‍රේනය 10%කින් ද තුර්කිය 6%කින් ද මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ජර්මනිය 5%කින් හා සෞදි අරාබිය 4% කින්ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පසුබිම හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් 7.8%ක් ලංකා සුපිරි ඩීසල් 7.2%ක් භූමිතෙල් 7.1%ක් ලෙස මිල ඉහළ දැමුණා. ඔක්ටේන් 95 පෙට්‍රල් 7.3%ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් 8.1%ක් ලෙසයි ඉහළ ගොස් තිබෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ 2022 වසරේ ජූනි මාසයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 470ක් ලෙසයි.

2023 වසරේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 348ක මිලක් නියම කෙරුණු අතර 2024 වසරේ දී එම පෙට්‍රල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 355ක් ලෙසයි. කෙසේ වෙතත් මෙවැනි ඉහළ මිල ගණන් වාර්තා වු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 2025 වසරේ දී රුපියල් 311 දක්වා අඩු කිරීමට වත්මන් රජයට හැකිවුණා.

ඉන්පසු අවස්ථා කිහිපයක දී 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අඩු කිරීමට කටයුතු කෙරුණු අතර අවසන් වරට එම පෙට්‍රල් ලීටරයක මිල සටහන් වුයේ රුපියල් 293ක් ලෙසයි.

ලෝකය තුළ යුදමය වතාවරණයක් හමුවේ බොහෝ රටවල් ඉතා ඉහළ අගයකින් ඉන්ධන මිල සංශෝධනය කරන පසුබිමක ඊට සාපේක්ෂව අඩු අගයකින් මිල සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මේ අය වාහන පැද්දොත් දඩුවම් සැරයි - දෙමව්පියන්ටත් දැඩි දඩුවම් - ශ්‍රී ලංකා පොලිසිය

මේ අය වාහන පැද්දොත් දඩුවම් සැරයි - දෙමව්පියන්ටත් දැඩි දඩුවම් - ශ්‍රී ලංකා පොලිසිය

අධ්‍යාපන හා කුසලතා සංවර්ධනයට ශ්‍රී ලංකා–පිලිපීන නව හවුල්කාරිත්වයක්

අධ්‍යාපන හා කුසලතා සංවර්ධනයට ශ්‍රී ලංකා–පිලිපීන නව හවුල්කාරිත්වයක්