විදෙස් ගත වෙන්න් හිතන් ඉන්නවනම් හරිම පරිස්සමෙන්.. එලියට ආපු අලුත්ම වංචාව....
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 16 වන දින එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු 813,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව ඔහු වංචාකර ඇති මුදල රු 8,390,000ක් වන අතර. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර වැඩිදුර නඩු විභාගය 2024 මාර්තු මස 11 දින කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මඟින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
- සිතුමි -
