ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙනවා..? විදේශ ඇමතිගෙන් ගෙන් විශේෂ ප්‍රකාශයක්

srilanka Indea Forien minister
By Sithumi Oct 03, 2021 02:07 PM GMT
Sithumi

Sithumi

Report

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99යේ තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කිරීමේ හැකියාව පවතී. එම සුවිසල් ගබඩා පද්ධතිය තවදුරටත් ඉන්දිය සමාගම වෙත දීර්ඝ කාලීනව බදුදීමට රජය අදහස් කර තිබේදැයි අප විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. 

එහිදී ඔහු සඳහන් කළේ, "ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරමින් යනවා. හැබැයි අවසාන තීරණයකට එළඹිලා නෑ. අත්තනෝමතික ලෙස තීරණයක් ගැනීමේ අදහසක් නෑ." 

මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදුදීමේ සැලැස්ම අතරතුරම, මෙරට IOC පිරවුම්හල් ඇතුළු බෙදාහැරීම් ජාලයද දීර්ඝකාලීනව එම සමාගම වෙත පවරාදීමේ සූදානමක් ඇතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙයි. පළමු ලෝක යුධ සමයේ ඉන්ධන ගබඩා කිරීමට සුරක්ෂිත ස්ථානයක් සොයමින් සිටි බ්‍රිතාන්‍යය විසින් ඒ සඳහා තෝරගනු ලැබුවේ ලෝකයේ භූ දේශපාලනිකව වැදගත්කමක් උසුලන ත්‍රිකුණාමලයේ වරායට ආසන්න මෙම ස්ථානයය. 

ඔවුන් එහි තෙල් ටැංකි 103 ක් ස්ථාපිත කළත් පසුව හතරක් විනාශ වූ අතර මේ දක්වාම ටැංකි 99 ක් ඉතිරිව පවතී. ඒ අතරින් ටැංකි 16 ක් චීන වරාය අසන්නයේත්, අනෙක් ටැංකි ප්‍රධාන මාර්ගයෙන් අනෙක් පස දුම්රිය ස්ථානය ආසන්නයේත් පවතී. 

 මෙම තෙල් ටැංකි ආසන්නයේම ත්‍රිකුණාමලය වරායත්, අනෙක් පසින් දිවයින පුරා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ වන දුම්රිය මාර්ගයත් පැවතීම උපක්‍රමිකව වැදගත් මෙන්ම තෙල් බෙදාහැරීමේදී වාසිසහගත වෙයි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ 1961 අංක 28 දරන පනත මගින් ඛනිජ තෙල් ගෙන්වීම, විකිණීම, බෙදාහැරීම, පිරිපහදුව හා මිශ්‍රකිරීමේ අයිතිය රජයට පවරා ගැනුණු අතර 1987 ඉන්දියාව සමඟ එළැඹි එකඟතාව අනුව මෙම තෙල් ටැංකි සම්බන්ධ තීරණ ගැනීමේදී එරට දැනුවත් කර කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. 2

003 වසරේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා IOC සමාගම සමග එළැඹි ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදු දුන් අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක කොටසක් එම සමාගමට පැවරීමද සිදුකර තිබුණි. නමුත් එය විධිමත් ගිවිසුමක් මගින් සිදු නොවූ බැවින් අවශ්‍ය ඕනෑම විටෙක එකඟතාව සංශෝධනය කළ හැකි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි. 

පසුව 2017 වසරේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතිය හිමි විය. ඊට අනුව IOC සමාගම යටතේ පවතින ටැංකි 15ව 99 වසරකට එම සමාගමට බදු දීමටත්, ඉතිරි ටැංකි 84 හවුල්කාරීත්වය යටතේ බෙදාගැනීමටත් යෝජනා වී තිබුණත් එය ක්‍රියාත්මක වුණේ නැත.

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 84 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළයුතු බවත් එහෙත් ටැංකි 15 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බවත් වාර්තා වේ. එහෙත් දැනට වාර්තාවන්නේ රජය ඉන්දීය ආයෝජකයකු සමඟ ගිවිසුමකින් තෙල් ටැංකි බෙදාගැනීමට සූදානම් වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha