FBI අත්‍යවශ්‍ය සැකකරුවෙක් - මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුවෙයි
අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අත්‍යවශ්‍ය සැකකරුවන් දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ මේසා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝවේ සිනලෝවා ප්‍රාන්තයේ ගුවාසාවේ ප්‍රදේශයේදී විශේෂ ආරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමකදී ඔහු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම මෙහෙයුම අතරතුර ඇති වූ ගැටුම්වලින් සැකකරුවන් හත්දෙනෙකු සහ මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අමෙරිකානු බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ගිනිඅවි, අත්බෝම්බ විදින අවියක්, මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
44 හැවිරිදි මේසා ෆ්ලෝරස් 1990 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට සැක කෙරෙන අතර, ඔහු ගුවාසාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයේ නායකයා ලෙසද සැලකේ.
ෆෙන්ටැනිල්, කොකේන් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අමෙරිකාවට සැපයීම මෙන්ම පුද්ගල පැහැරගැනීම්, කප්පම් ගැනීම් සහ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2024 වසරේදී මෙක්සිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ෆෙන්ටැනිල් පෙති මිලියන 20ක් ඔහුගේ ජාවාරම් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ 2025 වසරේදී ඔහු FBI ආයතනයේ අත්‍යවශ්‍ය සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබිණි.
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරු අමෙරිකාවට පිටුවහල් කර ගැනීම සඳහා එරට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.