පාලනයෙන් ගිලිහී යන ගින්න (VIDEO)

fire sri lanka navy express pearl environment authority disaster management center
By Sewvandhi May 25, 2021 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පසුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ මුහුදේ රළු ස්වභාවය මත මේ වනවිට නෞකාව දකුණු පසට මදක් ඇලව පවතින බවයි.

එසේම, කාලගුණික තත්ත්වයේ වෙනස්වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය, ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇතැයි ද නාවික හමුදාව පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතුවල නිරත වන ලෙසටයි නාවික හමුදාව දැනුම් දෙන්නේ.

ගින්න නිවා දැමීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් විභාව් වජ්රා නෞකා ද්විත්වයත්, වෙරලාරක්ෂක බලකායට අයත් ඩ්‍රෝණ යාත්‍රාවක් සහ ටග් යාත්‍රාවක් යොදවා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

එවන් ද්‍රව්‍ය දුටු වහාම පොලීසියට හෝ 117 අංකයට දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා. මේ අතර ගිනිගන්නා නැවේ අලුත්ම ගුවන් දර්ශන පෙන්වා දෙන්නේ එම නැව අවට ජල තලයේ යම් කිසි තෙල් පැල්ලමක් වැනි දෙයක් ඇති බවයි.

කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ අද උදෑසන සිදුකල ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී බරපතල පරිසර හානියක් නිරීක්ෂණය නොවූ බව.




 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now