නාමයෝජනා භාරගැනීම අද සිට ක්‍රියාත්මක වේ..පක්ෂ කිහිපයක් කරළියට එයි..

Election Commission of Sri Lanka Sri Lanka
By Aruna Jan 18, 2023 04:05 AM GMT
Aruna

Aruna

Report

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වනවා.

අද සිට ලබන 21 වනදා දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ගත වූ දිනය තුළ දේශපාලන පක්ෂ 29ක් සහ ස්වාධීන කණ්ඩායම් 52ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ (17) පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ කාලය තුළ නව ලංකා නිදහස් පක්ෂය, කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගය ද කොළඹ, ගම්පහ, කළුතර , මාතලේ, ගාල්ල, යාපනය, මඩකලපුව, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහාත්, සමාජවාදී ජනතා සංසදය, කොළඹ දිස්ත්‍රික්කය සඳහාත් ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොළඹ, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අතර එක්සත් සාම සන්ධානය, කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් ස‍භාව සඳහන් කළේය.

ජනසෙත පෙරමුණ, ගම්පහ දිස්ත්‍රික්කය සඳහාත්, නිදහස් ජනතා පෙරමුණ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහාත්, එක්සත් ජාතික පක්ෂය, ගම්පහ, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාත් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේ සිදුකර තිබේ.

මීට අමතරව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ස්වාධීන කණ්ඩායම් 52ක් විසින් පළාත් පාලන ආයතන 50ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනය තුළ සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now