පොලිසියේ පවතින ගැටලු ගැන පොලිස්පති කියයි
ශ්‍රී ලංකා පොලීසිය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් පවතින බවත්, ඒවා ජයගැනීම සඳහා මානව සම්පත්, ධාරිතා සංවර්ධනය සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ව්‍යසනය පාලනය සහ මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග බවයි.
වාර්ෂිකව නිලධාරීන් 2,000–2,500ත් අතර ප්‍රමාණයක් විශ්‍රාම යාම සහ මියයාම්/ආබාධිත වීම් හේතුවෙන් පොලීසිය තුළ 38,000–40,000ක පමණ නිලධාරී හිඟයක් පවතින අතර, එය පියවීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිවී තිබේ.
මීට අමතරව, දීර්ඝ කාලයක් පැවැති උසස්වීම් ප්‍රමාදයන් නිම කරමින් 2019 දක්වා නිලධාරීන් 4,000කට වැඩි පිරිසකට සහ 2025 දක්වා තවත් 2,000කට ආසන්න පිරිසකට උසස්වීම් ලබාදී ඇති බවත්, ඉදිරියේදී වසරක් පාසා නිසි වේලාවට උසස්වීම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම උදෙසා කොස්තාපල්වරුන්ට පවා විදේශ ශිෂ්‍යත්ව හිමි වන පරිදි පුහුණු පාඨමාලා සංවිධානය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.