ඉන්දියාවෙන් ආපු හොර බෝට්ටුවක් නොරොච්චෝලේදී පෙරළෙයි.. කෝටි 18ක මත්පෙති මුහුදේ පාවේ
නීති විරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක්, අධික සුළං සහිත සැඩ පහරකට හසුව, නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් ආලංකුඩාව මුහුදු තීරයේදී පෙරළී, මුහුදේ පාවෙමින් තිබියදී ආලංකුඩාව නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට භාර දී තිබේ.
පාවෙමින් තිබූ යාත්‍රාවේ එන්ජිම ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විට සැකකරුවන් පලා ගොස් ඇති බව සඳහන් වේ.
ලංකාව වටේම මුහුද කැළඹෙයි - නාවික හා ධීවර ප්‍රජාව මුහුදු යන්න එපා - කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් රතු නිවේදන
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර, රුපියල් මිලියන 177ක් වටිනා මත් පෙති තුන් ලක්ෂ පනස් හතර දහසක්, උර පහක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 177ක්, මූල්‍ය වටිනාකම තක්සේරු නොකළ ඖෂධ වර්ග (පෙති, ආලේපන, එන්නත් බෝතල් 118ක් සහ එන්නත් ටියුබ් 1412ක්) ඇතුළත් වේ.
මෙම භාණ්ඩ සියල්ල කල්පිටිය පොලිසියට භාර දීමට නියමිත අතර, සැකකරුවන් සොයා ඉදිරි පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් වේ.