සුපිරි නළු ධනුෂ් දේශපාලනයට? තලපති විජේ වගේ වෙන්න හදන ධනුෂ් - රසිකයන් ප්‍රශ්ණ නගයි [PHOTO]
සුපිරි දෙමළ නළු ධනුෂ් දේශපාලනයට පිවිසීමේ ඉඟි පෙන්වීමත් සමඟ ඔහුගේ රසික රසිකාවියන් මේ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වයි. ඒ අනුව සමස්ත ඉන්දීය ධනුෂ් රසික සහ සුභසාධන සංගමය විසින් මෑතකදී ධනුෂ්ගේ රූපය, තරුවක් සහ ඔහුගේ පෞද්ගලික ආදර්ශ පාඨය දෙමළ භාෂාවෙන් ඇතුළත් නිල රතු සහ සුදු කොඩියක් එළිදක්වා ඇත.
මෙම දේශපාලන ධජය සමාජ මාධ්‍යවල වෛරල් වූ අතර, බොහෝ දෙනෙක් එය ධනුෂ් දේශපාලනයට පිවිසීමේ ලකුණක් ලෙස පෙන්වා දුන්හ. පසුගිය දිනක ධනුෂ්ගේ රසිකයන් ඔහුගේ උපන්දිනයට පෙර තමිල්නාඩුවේ තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ ලේ දන්දීමේ කඳවුරු සහ අනෙකුත් සුභසාධන කටයුතු සංවිධානය කිරීමෙන් පසුව මෙම දේශපාලන පිවිසීම පිළිබඳව අදහස් වැඩිවිය.
තම රසිකයන් අමතමින්, ධනුෂ් ඔවුන්ගේ සුභසාධන කටයුතු පුළුල් කර මහජනතාවට සේවය කිරීම සඳහා ඔවුන්ගේ එකමුතුව භාවිතා කරන ලෙස ඉල්ලා ඇති අතර ඔහු තම කතාව අවසන් කළේ “ඕම් නමශිවාය” යනුවෙනි. කෙසේ වෙතත්, දේශපාලනයට පිවිසීම පිළිබඳව ධනුෂ් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
ධනුෂ්ගේ රසික සමාජයේ ප්‍රධානියා වන අධ්‍යක්ෂ සුබ්‍රමනියම් ශිවා පැවසුවේ ධජය රසිකයන් සඳහා නිර්මාණය කර ඇති බවත් එය දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බවත්ය.
ධනුෂ්ගේ පියා වන අධ්‍යක්ෂක කස්තුරි රාජා ද ධනුෂ්ට දැනට දේශපාලනයට පිවිසීමට සැලසුම් කරන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, ගායකයෙකු, ගීත රචකයෙකු සහ නිෂ්පාදකයෙකු ලෙස සිටින ධනුෂ්, ඔහුගේ චිත්‍රපට ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහු පවසයි. නමුත් මෑතකදී සුපිරි නළු තලපති විජේ විසින් ඉතාමත් සුළු කාලයකදී දේශපාලන පක්ෂයක් ආරම්භ කර මේ වනවිට තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත්වීමත් සමඟ අනෙකුත් නළු නිලියන්ද දේශපාලනය පිලිබඳව විශාල අවදානයක් යොමු කරයි.