අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

covid19 Pfizer vaccination AstraZeneca Gotabhaya Rajapaksha
By Sewvandhi Jul 02, 2021 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ එම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ. ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත. දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් ප්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබේ.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි, කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පෙන්වා දී තිබේ.

පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරැඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට හැකි වී ඇත. දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now