ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාව වඩා දරුණු තැනකට එන ලකුණු

covid19 isolated quarantine indian variety Hansamal Weerasooriya
By Sewvandhi Jun 10, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට වත්මන් කොවිඩ් ව්‍යාප්තිය අසල්වැසි ඉන්දියාවේ දත්ත සමග සැසදීමේදී ඊට සමාන වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ මධ්‍යම කාරක සභා සභික වෛද්‍ය හංසමාල් වීරසුරිය ප්‍රකාශ කර සිටියේ මේ වන විට ලැබී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් දරුණු අතට හැරෙමින් පවතින බවයි. ” අප මුලින්ම කියා සිටියා ඉන්දියාව සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය සතුටුදායක තිබෙනවා කියා.

නමුත් මේ වන විට බලන විට ඉන්දියාවේ ජනගහණයෙන් මිලියනයකට සිදුවන මරණ ප්‍රතිශතය සීයයට 2.01ක අගයක්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට එය සීයයට 1.91ක අගයක් ගෙන තිබෙනවා මේ වන විට. එමෙන්ම ආසාදිතයින් වාර්තා වීම අතින් බැලු කළ ඉන්දියාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයින් වාර්තාවීම සීයයට 85.03ක අගයක් ගනු ලබනවා.

නමුත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට ආසාදිතයින් වාර්තා වීම සීයයට 138.68ක් ලෙසයි දැක්වෙන්නේ. මෙය සතියකට කාලයක් අනුව ගණනය කළ දත්ත අනුවයි සඳහන් වන්නේ. මේ දත්ත හරි විදිහට විශ්ලේෂණය කරන්න ඕන. දත්ත ලැබීමේ අතින් යම් අඩුපාඩු තිබෙනවා. මෙය වලක්වා ගන්න සෞඛ්‍ය බලධාරීන් ලෙස සියලු දෙනා කටයුතු කරන්න ඕන.

මේ අයුරින් බලන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාව අභිබවා යන්න ඉතා ආසන්නයෙන් සිටින්නේ. මෙය ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවත් කොවිඩ් ව්‍යාප්තියෙන් දරුණු අතට පැමිණෙමින් තිබෙනවා කියා සඳහන් කරන්න පුළුවන්. සංචරණ සීමා පනවා තිබෙනවා රටේ, නමුත් සියලු දෙනාම ඊට අවනත විය යුතුයි.

අවම වශයෙන් සීයයට 80-90ක් අපේ සංචරණ සීමා කරන්න අවශ්‍යයි. මොකද තත්ත්වය දරුණු අතට හැරෙන්නේ නැතිව තියා ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. කරුණාකරලා මේ රෝගය තමන්ට තමන්ගේ නිවසට ගෙන යන්න එපා. දැනටමත් මෙහි දරුණු භාවය ඔබට වැටහෙනවා ඇති.

අපේ රටේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ වලින් පළමු මරණ 500 වාර්තා වන්න දින 343ක් ගතවුනා. දෙවන මරණ 500 වාර්තා වන්න ගියේ දින 72ක්. 03 වන මරණ 500 වාර්තා වන්න ගත වෙලා තියෙන්නේ දින 13ක් පමණයි. මරණ සංඛ්‍යාව වාර්තා වීමේ වේගවත් භාවය මෙතනින් අපට සිතා ගන්න පුළුවන්.” වෛද්‍ය හංසමාල් වීරසුරිය වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now