මාත්‍රා තුනක කොවිඩ් මර්ධන එන්නතක්...ප්‍රභල රටවල් රැසක් එනතුරු බලා සිටී.

American Covid vaccines Biocubafarma
By Aruna Jun 22, 2021 02:35 AM GMT
Report

නවතම කොරෝනා එන්නතක් හඳුන්වාදීමට සූදානම් බව කියුබාව පවසයි.

මෙම නව එන්නත නම් කර ඇත්තේ සොබරානා-2 (Soberana-2) යනුවෙනි.

මෙය මාත්‍රා තුනක් ලබා දිය යුතු එන්නතක් බව සඳහන් වේ.

තවමත් මෙම එන්නත පවතින්නේ එහි සායනික අත්හදාබැලීම්වල අවසන් අදියරවලයි.

එන්නත සියයට 62ක ඵලදායිතාවක් පෙන්නුම් කරන බව එහි මාත්‍රා දෙකක් ලබා දීමෙන් පසු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි කියුබාවේ රාජ්‍ය ආයතනයක් වන බයෝකියුබා ෆාර්මා (BioCubaFarma) නමැති ආයතනය පවසයි.

කියුබාව දියුණු ජෛවතාක්‍ෂණ ක්‍ෂේත්‍රයක් ඇති රටකි. එය කලක සිටම එන්නත් අපනයනයේද යෙදී සිටියි.

මේ වනවිට ඔවුන් කොවිඩ් එන්නත් පහක් පිළිබඳව කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එයින් දෙකක් මේ වෙද්දී සායනික අත්හදාබැලීම්වල අවසන් අදියර වෙත ළඟා වී ඇත.

ඒ ඉහත කී සොබරානා-2 එන්නත සහ අබ්දාලා (Abdala) නමැති එන්නතයි.

සොබරානා-2 එන්නතේ මාත්‍රා තුනම ලබා දීමෙන් පසු ඇතිවන ඵලදායීතාව පිළිබඳ තොරතුරු ළඟදීම දැන ගැනීමට හැකි වනු ඇති බව මෙම එන්නත සොයාගත් ෆින්ලේ එන්නත් ආයතනයේ අධ්‍යක්‍ෂ වයිසන්ටේ වේරස් පවසා තිබේ.

මාත්‍රා තුනක කොවිඩ් මර්ධන එන්නත (Soberana-2) මාත්‍රා තුනම දීමෙන් පසු එහි ඵලදායීතාව තවත් ඉහළ යනු ඇති බව ද ඔහු තවදුරටත් පවසා ඇත.

මේ වනවිට කියුබාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තියේ විශාල වර්ධනයක් දැකිය හැකිය.

වසංගතය ආරම්භ වීමෙන් පසු දරුණුම තත්ත්වයක් වාර්තා වෙමින් ඇත්තේ මේ කාලයේය.

එසේ නමුත් විදේශයන්හි නිෂ්පාදිත එන්නත් ආනයනය නොකිරීමට එරට රජය තීරණයක් ගෙන ඇති බව සඳහන් වේ.

එය අනතුරුදායක තීරණයක් වුවත් දේශීය එන්නත් සාර්ථක වුවහොත් එයින් රටේ විද්‍යා ක්‍ෂේත්‍රයේ කීර්තිය ඉහළ නැංවීමටද, එන්නත් අපනයනයෙන් විදේශ විනිමට උපයා ගැනීමටද, ගෝලීය එන්නත්කරණ වැඩපිළිවෙළට සහය දීමටද හැකි වනු ඇති බව විශේෂඥයන් ප්‍රකාශ කර තිබිණි.

දකුණු ඇමරිකාවේ රටවල් රැසක් කියුබානු එන්නත් මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now