කොරෝනා ආසාදිතව දින 8ක බිළිඳෙක් මියයයි.

Covid Corona Death Sri Lanka
By Aruna Jun 10, 2021 08:38 AM GMT
Aruna

Aruna

Report

 ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රජය ඊයේ (09) තහවුරු කළ මරණ අතරට එම බිළිදා ද අයත් වේ. පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත.

නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ. ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරති. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,900 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ , තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමගය. එය රජය විසින් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද වේ.

එම මරණ අතරින් 19ක් මැයි 17 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළත් සෙසු මරණ 48 ජුනි 01 වනදා සිට ජුනි 08 දක්වා කාලය තුළත් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පුද්ගලයින් 06 දෙනෙකු නිවසේදී මියගොස් තිබූ අතර තවත් 05 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් ජීවිතක්ෂයට පත්ව සිටියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ මියගිය අය අතර, වයස අවුරුදු 21 හා 29 වයස්වල තරුණයින් දෙදෙනෙකුද කොළඹ ජාතික රෝහලේදී හා නුවරඑළිය දිස්ත්‍රික් මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙනත් රෝග තත්ත්වයන් සමග කොවිඩ් නියුමෝනියාව හේතුවෙනි.

ජූනි මාසයේ ගෙවුණු දින 09 තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 426 ක් රජය තහවුරු කර ඇති අතර එය මැයි මාසයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 50 ක ප්‍රමාණයත් ඉක්මවා යාමකි.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now