මෙරට පිරිසක් එන්නත් පැහැරගත් බවට චෝදනාවක්.

Covid Corona GMOA Paviththra Wanniarachchi
By Aruna May 26, 2021 02:25 AM GMT
Aruna

Aruna

Report

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් එන්නත් ⁣දහතුන් දහසක ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැරගෙන ඇති බවත් එම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව යම් කෙනකු මරණයට පත්වුවහොත් එය එම සංගමය කරන ලද මිනීමැරුමක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

එහි සභාපති උපුල් රෝහණ මේ බව පැවසුවේ බස්නාහිර පළාතේ ඊයේ (25 වැනිදා) ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ප්‍රකාශ කරමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට අයුතු ලෙස එන්නත් ලබා දීම ට විරෝධය පළ කරමිනි.

මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සමග පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය කේෂ්ත්‍රවල අනෙකුත් සාමාජිකයන්ට ද ග්‍රාම නිලධාරිවරුන්ට සහ ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයන්ටද එන්නත් ලබා දීමට තීරණයකට එළැඹිමත් සමග මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

මෙරටට ලැබෙන සයිනොපාම් එන්නත් තොගවලින් මෙම පිරිසට එන්නත් ලබාදෙන බවටද සෞඛ්‍ය ඇමැතිතුමිය එකඟ වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේය.

කෙසේවුවද සභාපතිවරයා කියා සිටියේ ලක්ෂ පහ හමාරක පමණ ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලබාගෙන තිබු ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි පිරිසගේ එන්නත්වලින් මෙලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එන්නත් පැහැරගෙන ඇති බවයි. ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අවභාවිත කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වලට පළමු මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සම්ගම් ඉහත සාකච්ඡාවේ දී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් හත්දහස් එකසිය විසි අටකට එන්නත් කිරීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමංගම් ඇමැතිවරිය සමග පැය තුනක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now