කොවිඩ් ප්‍රභේද ව්‍යාප්තිය පිළිබඳ නවතම වාර්තාව එළියට

covid19 infections nileeka malavige chandhima jeewanandha jayawardhana pura university
By Sewvandhi Jul 03, 2021 07:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේද පිළිබඳ නවතම වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  විමසීමකදී සඳහන් කළේ අද පෙරවරුවේ නව ප්‍රභේද පිළිබඳ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා වෙත භාර දුන් බවයි. කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මින් පෙර අවස්ථාවලදී මෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම මගින් සිදුනොකරන බව ඔහු සඳහන් කළා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කළ දැනුම්දීමකට අනුවයි. එහෙත්, ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර ඇත්තේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් වාර්තා වීමත් සමඟ කොරෝනා ව්‍යාප්තියේ තර්ජනය තීව්‍ර වී ඇති බවයි. එන්නත් කිරීම වේගවත් කළ යුතු බවත්, කොරෝනා පැතිර යාමේ පහව ගොස් නොමැති බවත් එම ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම, ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ගෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් අතර, එය අමාත්‍යාංශය මගින් විශ්ලේෂණය කරනු ඇති බවයි. කෙසේ වෙතත්, නව ප්‍රභේද පැතිරයාමේ පර්යේෂණ වාර්තාව පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු වෙනත් සාකච්ඡාවක නිරතව සිටීම හේතුවෙන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද දුරකතනයට සම්බන්ධ කර ගැනීමටද හැකියාවක් ලැබුණේ නැහැ. මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 1,823ක් හඳුනාගනු ලැබුවා. ඉන් 84 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1737 දෙනා අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්. ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 267 දෙනෙකු හඳුනාගත් අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 225 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය තුළ වාර්තා වූයේ ආසාදිතයන් 170ක් පමණයි. මීට අමතරව කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනය තුළ ආසාදිතයින් 100 ඉක්මවමින් වාර්තා වී තිබුණා. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කෑගල්ල, මුලතිව් සහ අම්පාර යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරුණා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාදෙයියාව ගම, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරූ පොලිස් බල ප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටස, සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි 03 ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා කෙරුණා.

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් රියදුරු සහ කොන්දොස්තර සමඟ මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ව්‍යාජ ලේඛණයක් උපයෝගී කරගනිමින් කොළඹ බලා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන්එන්නත් මාත්‍රා ප්‍රමාණය 85, 683 ක්. මේ අතර, මෙරටට අලු‍තෙන් ගෙන එන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනය දිස්ත්‍රික්ක 10ක එන්නත්කරණ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර, දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුඳා දිනයේදීයි. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි තීරණ ප්‍රකාශයට පත්කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now