මෝටර් රථ ධාවන තරගය බලන්න ගිය මහ ඇමති - ''විජේ - අජිත් හමුවේ දේශපාලන ඉඟියක් තිබේද?''
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම නළු දේශපාලනඥයෙකු වන විජේ සහ ජනප්‍රිය නළු හා මෝටර් රථ ධාවන ශූර අජිත් කුමාර් අතර එක්සත් රාජධානියේදී සිදුවූ සුහද හමුව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.
දශක තුනකට ආසන්න කාලයක් පුරා රසිකයන් අතර තරගකාරීත්වයක් ලෙස පැවති විජේ - අජිත් සම්බන්ධතාවයට නව මානයක් එක් කරමින්, දෙදෙනා වැළඳගනිමින් සහ සුහදව අදහස් හුවමාරු කරගත් දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද විශාල වශයෙන් සංසරණය වී තිබෙනවා.
මෙම හමුව සිදුවූයේ විජේ විසින් අජිත් කුමාර් සහභාගී වූ සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය ආරම්භ කරනු ලැබූ අවස්ථාවේදීයි. ඊට සමගාමීව තමිල්නාඩු රජය විසින් ප්‍රාන්තය තුළ ලෝක මට්ටමේ මෝටර් රථ ධාවන නගරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවද නිවේදනය කර තිබුණා.
එම යෝජනාව අජිත් කුමාර් විසින්ද පිළිගෙන තිබෙනවා.
වසර ගණනක තරගකාරීත්වයක්
විජේ සහ අජිත් වසර ගණනාවක් පුරා තමිල් සිනමාවේ මීළඟ පරම්පරාවේ රජිනිකාන්ත් සහ කමල් හසන් ලෙස රසිකයන් අතර සංසන්දනයට ලක්වුණා.
විජේගේ දැවැන්ත ජනප්‍රියත්වය රජිනිකාන්ත් සමඟත්, අජිත්ගේ රංගන හැකියාව සහ විවිධත්වය කමල් හසන් සමඟත් සංසන්දනය කෙරුණා.
මෙම තරගකාරීත්වය සිනමා ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ අතර, දෙදෙනාගේ රසික කණ්ඩායම් අතර ගැටුම් අවස්ථා සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි මත ගැටුම්ද පසුගිය කාලය පුරා දක්නට ලැබුණා.
එවැනි පසුබිමක එක්සත් රාජධානියේදී විජේ සහ අජිත් ප්‍රසිද්ධියේ පෙන්වූ සුහදත්වය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම පුදුමයක් නොවේ.
ඇතැම් පිරිස් පවසන්නේ මෙම දසුන් රජිනිකාන්ත් සහ කමල් හසන් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය සිහිපත් කරන බවයි.
රසිකයන් අතරත් විවිධ මත
විජේ - අජිත් හමුවීම පිළිබඳ රසිකයන්ගෙන් ලැබී ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රතිචාරයි.
ධීවර අමාත්‍ය ඒ. ශ්‍රීනාත් පවසා ඇත්තේ අජිත් සහ විජේ තමිල් සිනමාවේ ප්‍රබල කුළුණු දෙකක් බවත්, ඔවුන් අතර ඇති මිත්‍රත්වය රසිකයන් අතරද එකමුතුවක් ඇති කිරීමට පණිවුඩයක් ලබාදෙන බවත්ය.
චෙන්නායිහි අජිත් රසිකයෙකු වන සිවරාජ් පවසා ඇත්තේ මෙම හමුව තුළින් රජිනිකාන්ත් සහ කමල් හසන් අතර දක්නට ලැබුණු පරිණතභාවය විජේ සහ අජිත් අතරද දැකගත හැකි බවයි.
විජේ රසිකාවක වන පැට්‍රීෂියා මෙම හමුව හඳුන්වා ඇත්තේ දෙදෙනා දැඩි ප්‍රතිවාදීන් ලෙස සැලකෙන පසුබිමක සිදුවූ “විශිෂ්ට පියවරක්” ලෙසයි. කෙසේ වෙතත්, ඇතැම් දැඩි රසිකයන් මෙම හමුව පිළිබඳ සැක පළ කර තිබෙනවා.
කොයිම්බතූර්හි අජිත් රසිකයෙකු වන සුබ්‍රමනියම් පවසා ඇත්තේ මෙය දෙපාර්ශ්වයේම මහජන සම්බන්ධතා ප්‍රතිරුපය වර්ධනය කරන PR ක්‍රියාමාර්ගයක් විය හැකි බවත්, එමඟින් රසික කණ්ඩායම් අතර විශාල වෙනසක් ඇති වේද යන්න සැක සහිත බවත්ය.
විජේගේ දේශපාලනයටත් වාසියක්?
මෙම හමුව විජේගේ දේශපාලන ගමන සම්බන්ධයෙන්ද වැදගත් විය හැකි බවට අදහස් පළ වී තිබෙනවා. විජේගේ TVK පක්ෂය මැතිවරණ කොට්ඨාස දෙකක පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.
එම අතුරු මැතිවරණ විජේ ප්‍රමුඛ රජය සම්බන්ධයෙන් ජනතා මත විමසුමක් ලෙස දේශපාලන නිරීක්ෂකයන් විසින්ද හඳුන්වා දී තිබෙනවා.
මේ අතර කාන්තාවන්ට එරෙහි අපරාධ ඉහළ යාම සහ නීතිය හා සාමය සම්බන්ධයෙන් තමිල්නාඩු රජයට විපක්ෂයෙන් චෝදනා එල්ල වන පසුබිමක මෙම හමුව සිදුවීමද විශේෂත්වයක්.
එවැනි තත්ත්වයක් තුළ අජිත් සමඟ විජේ ප්‍රසිද්ධියේ පෙන්වූ සුහදත්වය, ඔහුගේ සාම්ප්‍රදායික දේශපාලන සහායක පදනමෙන් ඔබ්බට ගොස් අජිත්ගේ රසිකයන් අතරටද ළඟා වීමට අවස්ථාවක් ලබාදිය හැකි බවට මත පළ වී තිබෙනවා.
තමිල්නාඩුවේ ක්‍රීඩා ක්ෂේත්‍රයටත් නව අවධානයක්
විජේ සමඟ එක්සත් රාජධානියේ සංචාරයට එක්වූ ක්‍රීඩා අමාත්‍ය ආධව් අර්ජුනා පවසා ඇත්තේ එම සංචාරය හරහා තමිල්නාඩුව කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නව අදහස් සහ අත්දැකීම් ලබාගැනීමට හැකි වූ බවයි.
ලෝක මට්ටමේ ක්‍රීඩා යටිතල පහසුකම් සහ නවීන ක්‍රීඩා ක්ෂේත්‍රයක් හරහා තමිල්නාඩුව ඉන්දියාවේ ක්‍රීඩා අගනුවර බවට පත් කිරීම රජයේ අරමුණක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.
විජේ සහ අජිත් අතර එක්සත් රාජධානියේදී දක්නට ලැබුණු මෙම සුහදත්වය දෙදෙනාගේ රසිකයන් අතර දශක ගණනාවක් පුරා පැවති තරගකාරීත්වය සැබෑ ලෙසම වෙනස් කරයිද යන්න තවමත් පැහැදිලි නැහැ.
එහෙත් මෙතෙක් විජේ - අජිත් යුගය පුරා දක්නට ලැබුණු දැඩි තරගකාරීත්වයට හාත්පසින්ම වෙනස් දසුනක් මෙම හමුව හරහා දැකගත හැකි වීම නම් විශේෂත්වයක්.