මධුෂ් ඝාතනය යළි උණුසුම් වෙයි – CID පරීක්ෂණ
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මධුෂ් ඝාතනයට ලක් වූ දින ඔහුව මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2020 වසරේ ඔක්තෝබර් 20 වනදා, මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම අවස්ථාවේදී, මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධුෂ්ව එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබූ බව සඳහන් වේ.
මෙම ඝාතනය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මධුෂ්ගේ සහෝදරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
එම විමර්ශන සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගැනීමටත්, මාධ්‍ය ආයතන සතුව ඇති ඝාතනයට අදාළ දර්ශන ලබාගැනීමටත් නියෝග ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.