මෙහෙකාර දැරියන් දූෂනය කර ඇත්තේ රිශාඩ් ගේ මස්සිනා බව හෙලිවෙයි (VIDEO)

sri lanka covid 19 Child abuse rishard badurdeen Cchild harresment
By Sithumi Jul 26, 2021 01:51 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය නිවසේ මෙහෙකාර සේවයට අමතරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා ද යොදාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

 එම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 08කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඒ බව පැවසීය. මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, ඇයගේ සොහොයුරා හා එම දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු අගෝස්තු මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය කළේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම දැරියගේ මළ සිරුර යළි ගොඩගෙන විධිමත් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටියේය. 

ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ දැරියගේ මෘත ශරීරය ගොඩගෙන ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද නියෝගකර සිටියාය. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ එම දැරිය පිළිස්සීමට ලක්ව රෝහල්ගත කළ අවස්ථාවේදී සත්‍ය කරුණු හිතාමතාම වසන් කිරීමට මෙම සැකකාරියගේ පියා ක්‍රියාකර ඇති ආකාරයක් පෙනීයන බවය. 

මෙම සැකකරුවන් සමාජයේ යම් පිළිගැනීමක් සහිත ඉහළ පුද්ගලයින් සමග සම්බන්ධකම් පවතින අය හෙයින් ඔවුන් මෙම අවස්ථාවේදී ඇපමත මුදාහරිනු ලැබූවහොත් සාක්ෂිවලට බලපෑම් කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම හෝ සාක්ෂි විනාශ කිරීමට හැකියාවක් පවතින හෙයින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සඳහන් කළාය. 

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැරිය පිළිස්සීමට ලක් වූ නිවසේ ගෘහමූලිකයා වශයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතුකර ඇති බවත් ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්ය. 

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 08 කින් යුත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුකරය ළමා වහල් වෙළෙඳාම හා සබැඳි කටයුත්තක් බවත් මියගිය දැරිය නිවසේ මෙහෙකාර සේවයට අමතරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවය. මෙම දැරියගේ මරණය සියදිවි නසාගැනීමක් ද? එසේ නැත්නම් මිනීමැරීමක් ද? 

යන බරපතළ සැකයක් මේ වන විට හටගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම දැරිය පිළිස්සීමට භාජනය වී තිබෙන්නේ ඉකුත් 03 වනදා උදෑසන 6.45ට වූවද ඇය රෝහල්ගත කර ඇත්තේ පෙරවරු 8.20ට පමණ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය. මියගිය දැරිය රැඳී සිටි නිවසේ වාහනවලින් හා රියදුරන්ගෙන් කිසිදු අඩුවක් නොතිබූ බවත් එසේ තිබියදී ඇය 1990 අංකය දරණ ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක් පැමිණෙන තෙක් සිට ප්‍රමාදවී කොළඹ ජාතික රෝහල වෙත රැගෙනයාම සැකකටයුතු තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය. මෙම නඩුවේ සැකකාරියගේ පියා වන දෙවන සැකකරු විසින් මෙම දැරිය ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇයගේ නම "ඉශානි" යනුවෙන් සිංහල නාමයක් ලබා දී තිබූ බවත් ඇයගේ වයස අවුරුදු 18 ක් වශයෙන් ලබාදී තිබූ බවත් ඔහු සිහිපත් කළේය. මියගිය දැරිය නවාතැන්ගෙන සිටි මඩුවක් වැනි ස්ථානයක ඇඳක් මත තිබී භූමිතෙල් අඩංගු බෝතලයක් සහ කොට්ටය යට තිබී ලයිටරයක් සොයාගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ පිළිබඳව මියගිය දැරියට පෙර එම නිවසේ සේවය කළ මෙහෙකාර දැරියකගෙන් ප්‍රශ්නකළ අවස්ථාවේදී මෙම නිවසේ භූමිතෙල් භාවිතා කිරීමක් සිදුනොවන බව ඇය විසින් සඳහන් කර ඇතැයි ද කියා සිටියේය. මේ පිළිබඳව සැකකාර රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ මවගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී තම නිවසේ රියදුරා විසින් මෙම භූමිතෙල් රැගෙන ආ බව ඇය ප්‍රකාශකළත් රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් භූමිතෙල් නිවසට රැගෙන ඒම සිදුනොකළ බව සඳහන් කළේ යැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අවධාරණය කළේය. 

සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ විසින් මුලින්ම ලබා දුන් කටඋත්තරයේ නූලක් පත්තුකිරීමට යාමේදී මෙම දැරිය පිළිස්සී ඇති බව ප්‍රකාශකර තිබුණත් ඇය විසින් බොරැල්ල පොලීසියට ලබාදුන් තවත් කටඋත්තරයක සිද්ධිය වූ දින අලුයම දැරිය කෑගසන ශබ්දයක් ඇසුණු බවත් පැමිණ බැලීමේදී ඇය පිළිස්සී සිටිනු තමා දුටු බවත් සඳහන් කළේ යැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා, ඒ අනුව සැකකාරිය එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබාදී ඇති බවත් මෙය බරපතළ සැකයට තුඩුදෙන කරුණක් බවත් පෙන්වා දුන්නේය. මෙම දැරියගේ දෙමව්පියන් ඉකුත් මාස 8ක කාලසීමාව ද තුළ තුන් වතාවක් ඇය දැක බලාගැනීම සඳහා මෙම නිවසට පැමිණිය ද තම දියණිය හමුවීමට නිවැසියන් ඔවුන්ට අවසර නුදුන් බවද විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔහු පෙන්වා දුනි. මෙම දැරිය මියගිය පසු රිෂාඩ්ගේ නිවසේ සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු විසින් මියගිය දැරියගේ සොහොයුරා අමතා, "මේක දුර ගෙනියන්න අවශ්‍ය නෑ. 

පොලිසි යන්න අවශ්‍ය නෑ," යනුවෙන් බලපෑම් කර 50,000/- මුදලක් මුලින්ම ලබාදී ඇති අතර පසුව මල්ශාලා කටයුතු ඉටුකිරීම සඳහා තවත් 50,000ක මුදල් ලබාදී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව මෙම සිද්ධිය යටපත් කිරීමට ක්‍රියාකර ඇති ආකාරය මනාව පැහැදිලි වන්නේ යැයි ද ඔහු පෙන්වා දුන්නේය. වතු කරයේ ජීවත්වන දිළිඳු දරුවන් කොළඹ ප්‍රභූ පවුල්වල දරුවන් බලාගැනීම සඳහා රැගෙන ඒමේ වහල් සේවා ජාවාරම් ජාලයක් ක්‍රියාත්මකවන බව පෙන්වාදුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා එහි සාමාජිකයෙකු වශයෙන් සැකකාර තැරැව්කරු කටයුතුකරන බව අවධාරණය කළේය. මෙම දැරියගේ රුපියල් තිස් දහසක වැටුප ඇයට හෝ ඇයගේ දෙමව්පියන්ට සෘජුව හිමිනොවන අතර එය සැකකාර තැරැව්කරුගේ ගිණුමට යොමුවන අතර ඔහු ඉන් රුපියල් 10,000ක මුදලක් අඩුකරගෙන රුපියල් විසි දහසක් පමණක් ඇයගේ දෙමව්පියන්ට ලබා දී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය. මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් බාලවයස්කාර දරුවන් 9 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බවත් ඒ අතරින් දෙදෙනෙකු මෙම නඩුවේ 4 වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳගේ සහෝදරයා වන සියාබ්දීන් ඉස්මත් නැමැත්තා විසින් ලිංගික අතවරයන්ට ලක්කර ඇති බවත් ඒ අතරෙන් එක් දැරියක්ව දෙවතාවක් ඔහු විසින් දූෂණයකර ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සීසීටීවී කැමරා අටක් ක්‍රියාත්මක වුවද මෙම මරණය සිදුවූ දින පෙරවරු 6.30න් පසුව ඉන් කැමරා හයක් අක්‍රියව තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙයද බරපතළ සැකයකට තුඩුදී ඇති හෙයින් ඒ පිළිබඳව ද විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය. 

 මෙම දැරිය මුහුණදුන් ඛේදවාචකයට අදාළ නිවසේ ගෘහ මූලිකයා වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද සෘජුවම වගකිව යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔහූ සැකකරුවකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් අවධාරණය කළේය. මෙම සැකකරුවන් ඇපමත මුදාහරිනු ලැබූවහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවත් ඊට අදාළව මහජන කැළඹීමක් පවතින එයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න සහ ගසාලි හුසේන් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත්වී නැතැයි තර්ක කළහ. මහජන කැළඹීමක් පවතිනවාය යන පදනම මත සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් එම නීතිඥවරු තම සේවාදායකයින් ඇපමත මුදාහරින ලෙසයි ඉල්ලා සිටියහ. 

 කෙසේ වෙතත් එම ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. මේ අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතරවාරයේ, මියගිය දැරියගේ මව අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ සිදුවීමට අදාළව නීතිය නිසියාකාරව ඉටුකර දෙන ලෙස ඉල්ලමින්ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now