ඩයනා ගමගේට එරෙහි නඩුවක් පෙබරවාරි 16 කැඳවීමට නියෝග
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව, විදේශ ගමන් බලපත්‍ර හා වීසා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන චෝදනාවලට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.
ඒ අනුව මෙම නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
තවද 2016 ජුලි 14 වැනිදා සිට 2020 නොවැම්බර් 01 වැනිදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදීම තුළින්, ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිව නඩු හතක් වෙන් වෙන්ව ගොනු කර තිබෙන බවට වැඩිදුරටත් වාර්තා වී තිබේ.