බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න
ඉන්ධන මිල වැඩිවීමෙන් බස් ධාවනය අභියෝගයට පත් වී ඇති බවත්, එම අනුව බස් ගාස්තුව සියයට 15කින් ඉහළ දැමිය යුතු බවත්, අවම බස් ගාස්තුව රුපියල් 35ක් විය යුතු බවත් අද (22) බස් සංගම් පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගම සභාපති ගැමුණු විජේරත්න මහතා,2025 ජූලි මස වාර්ෂික බස් ගාස්තුව ගණනය කිරීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් ලෙස යොදාගෙන තිබුණි. අදට එය රුපියල් 382ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බස් රථයකට ලැබෙන පාඩුව ලීටරයකින් රුපියල් 93ක් පමණ වන බව පැවසීය.
මේ තත්ත්වය හේතුවෙන් බස් රථ හිමියන්ට ධාවනය කිරීමේ හැකියාව සීමිත වන අතර, කිසියම් බස් රථකරු ධාවනය කළහොත් වතුර හෝ භූමිතෙල් යොදා ධාවනය කළ යුතු බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම බස් ගාස්තුව අවම රුපියල් 35ක් විය යුතු අතර, ඉන්ධන කෝටාව තව දුරටත් ඉහළ දැමිය යුතු බවත්, QR කේත ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක නොකළහොත්, බස් රථ අනිවාර්යෙන්ම ධාවනයෙන් ඉවත් කරනු ලබන බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.