දේශීය කිරි නිශ්පාදනය නංවන්න අයවැයෙන් මිලියන1,000ක්
ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවයෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 43ක් පමණක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර මිලියන 1,200 දක්වා වැඩි කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නිකවැරටිය අභිජනන ගොවිපොළ සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බව ඔහු පැවසීය. නිකවැරටිය ගොවිපොළ අනාගතයේදී උසස් ප්‍රභේදයේ එළ ගව සහ මී ගව ගැහැනු හා පිරිමි සතුන් බිහි කිරීම සඳහා වන න්‍යෂ්ටික ගොවිපොළක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නිකවැරටිය කිරි ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දුන්නේය.
දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන් දිරිමත් කිරීම සඳහා රජය මැදිහත්වී ඇති බවත්, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
දිවයින පුරා සත්ව අභිජනන ගොවිපොළ නවීන තාක්ෂණයෙන් සංවර්ධනය කිරීම සහ කිරි ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම මඟින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.