මම උපවාසේ අත් හැරියේ මේනිසා - බලංගොඩ කස්සප හිමි හිරේ ඉඳන් දුන්න ලියුම
මේ වන විට ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මහා සංඝරත්නය ප්‍රමුඛ සමාජය වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
ඒ බන්ධනාගාරයේ සිටියදී ආරම්භ කරන ලද උපවාසය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙනුයි.
අඳාළ ලිපියේ ලියා ඇති සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.
"2026.01.14 වෙනි දින ආරම්භ කරන ලද උපවාසය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධවයි.
නැගෙනහිර භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි වන මා ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා තුන් නමක් හා උපාසක උපාසිකාවන් ත්‍රිකුණාමලය උසාවිය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව ඉල්ලීම් අටක් පදනම් කරගෙන මා විසින් 2026.01.14 වෙනි දින උපවාසයක් ආරම්භ කරන්නට යෙදුණි. මෙකී උපවාසය සැලවීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේ, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයත් 2026.01.15 දින සවස ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත වැඩම කරන ලදී. මෙහිදී බන්ධනාගාර පාලන අධිකාරිය හා එකතුව මහ සඟරුවන විසින් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නට යෙදුණි. එහිදී 2026.01.19 දින ඊළඟ නඩු දිනය බැවින් එතෙක් උපවාසය නවත්වන ලෙස බන්ධනාගාර පාලන අධිකාරිය විසින් ඉල්ලීමක් සිදුකරන ලදී. මහජන සාමය ආරක්ෂා වනු පිණිසත් ජාතීන් අතර අසමගියක් ඇති නොවුණු පිණිසත් උපවාසය ආරම්භ කරන ලද කරුණු ඉටුකර ගැනීමට බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු සහාය දීමේ එකඟතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල මහා සංඝරත්නය උපවාසය අත්හරින ලෙස අපගෙන් ඉල්ලා සිටියහ. බන්ධනාගාර පාලන අධිකාරියට සහය දෙනු පිණිසත්. විශේෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල මහාසඟරුවනට තිබෙන ගරුත්වය නිසාත් එම එකඟතාවලට අනුකූලව උපවාසය තාවකාලිකව අත්හිටුවමි.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සභාපති - නැගෙනහිර භික්ෂු පෙරමුණ"
ඒ අනුව බන්ධනාගාර පාලන අධිකාරිය මඟින් ඉදිරිපත් කර ඇති මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයා ඇතුළු අඳාළ අංශ කිහිපයක් වෙතත් මහා සංඝරත්නය සහ සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩල වෙතත් යොමු කර ඇති බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ අත් අකුරින් ලියන ලද ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.