බේරුවල පුවත උණුසුම් වෙයි - සැකකරුවන් 5ක් 23දා තෙක් රිමාන්ඩ්
බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පසුගිය 09 වන දින රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවයක් පාලනය කිරීමට ගිය බේරුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා ඊයේ (10) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති බේරුවල ධීවර සංගමයේ සභාපති යැයි කියන පුද්ගලයකු සහ ඔහුගේ පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. සිද්ධියට අදාළව, පොලිසිය විසින් ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් භාරයට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරීන් වන්නේ බේරුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක මධුසංක (වයස 36), පොලිස් සැරයන් උපුල් (40588, වයස 42), සහ පොලිස් සැරයන් සිල්වා (53241, වයස 51) යන අයයි.
පොලිසිය පවසන පරිදි, සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට අතින්, පයින්, සහ හෙල්මට්වලින් පහරදී ඇති අතර, එම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂක මධුසංකගේ උඩු ඇන්දේ දත් දෙකක් කැඩී ගොස් ඇති බවත්, පොලිස් සැරයන් සිල්වාගේ නිල ඇඳුම ඉරී ගොස් සීරීම් තුවාල සිදුව ඇති බවත් හෙළි වී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා බේරුවල රේගුව පාර සහ ධීවර නිවාසවල පදිංචි, වයස අවුරුදු 31ත් 46ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට අදාළ තොරිතුරු අනුව, බේරුවල, මරදාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් සිටි අවස්ථාවේ, බේරුවල ධීවර වරාය අසල සිරිනිවාස මාවත ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වී තිබුණි. පොසොන් පොහොය නිමිත්තෙන් එම පිරිස ලොරි රථයකින් කොඩිවැල් එල්ලමින් සිට ඇති අතර, පොලිසිය විසින් එම පිරිසට මාර්ගයේ ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
එහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථ රියදුරු අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර, ඒ අවස්ථාවේදී අසල සිටි පිරිසක් පොලිස් නිලධාරීන් සමඟ ගැටුමකට එළඹ ඇත. එම පිරිස විසින් පොලිස් නිලධාරීන්ට හෙල්මට්වලින් පහරදී ඇති අතර, එම ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උණ්ඩ දෙකකින් අහසට වෙඩි තබා ඇති බව ප්‍රදේශවාසියෙකු ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ පොලිස් අධිකාරි රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත, බේරුවල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරේ. මේ අතර, පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, බේරුවල ප්‍රදේශවාසීන් ඊයේ (10) බේරුවල පොලිස් ස්ථානය ආසන්නයේ විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයක නිරත වූ බවද වාර්තා වේ.
