නව නීතිපති දිවුරුම් දෙයි

president office attorney general sanjaya rajarathnam gojabhaya rajapaksha .b. jayasundhara
By Sewvandhi May 26, 2021 12:56 PM GMT
Report

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබේ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.

රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි. ඔහු 2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කලක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යම බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකි.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now