මැතිවරණ කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙක්.
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.
අදාළ කොමිෂන් සභාව පසුගිය ඔක්තොම්බර් 16 වනදා පත් කර තිබුණේ විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්තවයෙන්.
එම කොමිසමට පැවරී ඇත්තේ මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයාබැලීමේ කටයුතුයි.
මේ අතර ඊයේ (02) නිකුත් කළ නව ගැසට් නිවේදනය මඟින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර තිබෙනවා.
ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කාමයිල් වියර් ඩේවිඩ් මහතා කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කර ඇත්තේ කොමිෂන් සභාවේ කාර්ය කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීම සඳහායි.
ඒ අනුව කොමිසම මඟින් බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම, දේශපාලන පක්ෂ සාමාජිකයන් වෙත නායකත්වයේ වගවීම, මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දරණු ලබන වියදම් අඩුකිරීම ද සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේදී පදනම් කරගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කොමිසම වෙතට බලය පැවරෙන බවයි.




