පාසල් ගුරුවරයෙකුට සිර දඬුවම් නියම කෙරේ..!
වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පාසල් සිසුවියකට ලිංගික අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයෙකුට ලබාදී තිබේ.
ඒ, නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසිනි.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් නමැත්තෙකුටයි මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණේ.
නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් චුදිතයා 2010.01.01 – 2010.01.31 අතර දිනයක 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.
මහාධිකරණ විනිසුරුවරයා චුදිතයාට රුපියල් 5,000සක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර 02ක කාලයක් සිරදඬුවම් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
