ලොව ප්‍රභලම සංගමයකින් ශ්‍රී ලංකාවට විශේෂ පොරොන්දුවක්

By Sewvandhi Oct 02, 2021 01:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉදිරියටත් සහයෝගය ලබාදෙන බවට යුරෝපා සංගමය සහතික වී තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී යුරෝපා සංගම් නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් 05 දෙනා ඊයේ (01) දිනයේදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවී තිබේ. එහිදී මෙරට සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සේවය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳද විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපා සංගම් නියෝජිතයින් පිරිස දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය වන බැවින් රටේ ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේ යුරෝපා සංගම් ජී.එස්.පී ප්ලස් ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම පිළිගත් අතර අඛණ්ඩව සහයෝගීතාව ලබාදෙන බවට සහතිකයක් ද ලබාදී ඇති බව වාර්තා වේ.

එම සංචාරය අතරතුරදී යුරෝපා සංගම් නියෝජිත පිරිස යුරෝපා සංගම් ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය සහ යුරෝපා සංගම් ජී.එස්.පී ප්ලස් සමාලෝචන ක්‍රියාවලියේ තුන්වන වටයට අදාළ රැස්වීම්වලට සහභාගී වී තිබේ. මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ එම සංචාරය දෙරට අතර පවතින බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්වී පාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට දායක වනු ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ලබන 05 වන දින දක්වා දිවයිනේ රැඳීසිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවීමට නියමිතව තිබේ. ඉන්දීය විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලද ඉන්දීය විදේශ ලේකම්වරයා සංචාරය කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha