"මිරිස් කුඩු ගැහුවා වෙඩි තිබ්බා" දිවි පරදුවට තබා කෝටියේ කොල්ලය වැළැකූ සාජන්..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 26, 2022 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවි පරදුවට තබා මුදල් කොල්ලයක් වැළැක්වීමට සමත් වූ පොලිස් නිළධාරියෙකු පිළිබඳව පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අද දහවල් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 223ක මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙම සිදුවීම වී ඇත. අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ලකෑමට සැලසුම්සහගතව මුහුණු ආවරණය කරගෙන පැමිණි දෙදෙනෙකු උත්සාහ කර ඇත.

එහිදී ඔහු අත තිබූ මුදල් බෑග් දෙක රැගෙන එම කොල්ලකරුවන් දෙදෙනා පළා යාමට උත්සාහ ගත් අවස්ථාවේ එම ස්ථානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මෙම සිදුවීම දැක ඇත. තඹුත්තේගම පොලීසියේ සේවයේ නිරත සැරයන් D ,A.C බුද්ධික කුමාර මහතා ක්ෂණයකින් ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනාගේ මග හරස් කරමින් ඔවුන් ඉදිරියට පැන ඇත. අනපේක්ෂිත ලෙස තමන් ඉදිරියට පැමිණි පොලිස් නිළධාරියාගෙන් ගැළවීයාමට සැකකරුවන් විසින් අදාළ නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ඇත.

කෙසේ වෙතත් දිවි පරදුවට තබා සැකකරුන් මෙල්ලකිරීමේ එකම අරමුණින් ඔවුන් ඉදිරියට ආ බුද්ධික කුමාර මහතා අඩපණ කිරීමට එම මිරිස් කුඩු ප්‍රහාරය ප්‍රමාණවත් නොවී ඇත. සැරයන් බුද්ධික කුමාර මහතා පසුව අපවෙත පැවසුවේ සැකකරුවන් ඔවුන් සතුව තිබූ තුවක්කුව ක්‍රියාත්මක කළද එය ක්‍රියාත්මක නොවූ බවය.

කෙසේ වෙතත් මෙම සැකකරුවන් මෙල්ලකිරීමට පොලිස් නිලධාරියා ගනු ලැබූ උත්සාහය හමුවේ අවට සිටි පිරිසගේද සහාය ඇතුව කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයා මුදල් තැන්පත් කරනු ලබන බැංකුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට තඹුත්තේගම පොලීසිය විසින් ආරම්භ කර ඇත.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW