“නීතිය හමුවේ සියල්ලන් සමානයි” - තනතුරට හෝ තරාතිරමට විශේෂ වරප්‍රසාද නැතැයි අගමැතිනිය කියයි
නීතිය හමුවේ සියලුදෙනාම සමාන බවත්, පුද්ගලයාගේ තරාතිරම හෝ තනතුර නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු බලපෑමක් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (15) සංවිධානය කළ විශේෂ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජනතාව වත්මන් පාලනය කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා කරමින් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.
එමෙන්ම දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට, අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ නිදහස ලබාදීම අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
වත්මන් පාලනය යටතේ එම ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය අවකාශය ලබාදී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ තනතුරකට විශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.