චීනයෙන් පුරවැසියන්ට අලුත් නීති මාලාවක්- පිටරටකදී චීනයට විරුද්ධව කතා කළොත් අවුරුදු 3කට රටින් පිටවීම තහනම්
චීනයට ඇතුළුවීම සහ එරටින් පිටවීම සම්බන්ධයෙන් නව නීති මාලාවක් බලාත්මක කර ඇති අතර, එමගින් විදේශයන්හි සිටින චීන පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජයේ පාලනය තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව නීති අනුව, විදේශගතව සිටියදී චීනයේ ජාතික ආරක්ෂාවට හෝ මූලික ජාතික අභිමතාර්ථයන්ට හානිදායක ක්‍රියාවන්හි නිරත වූ බවට සැලකෙන චීන පුරවැසියන්ට, ඔවුන් යළි චීනයට පැමිණීමෙන් පසු වසර තුනක් දක්වා රටින් පිටවීම තහනම් කළ හැකිය.
එමෙන්ම, තාක්ෂණික ආනයන සහ අපනයන සම්බන්ධ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන්ටද රටින් පිටවීමේ තහංචි පැනවීමට නව නීති යටතේ බලධාරීන්ට හැකියාව ලැබේ. ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීති හඳුන්වා දී ඇති බව චීන බලධාරීන් පවසයි.
සාමාන්‍ය පුරවැසියන්ගේ ජාත්‍යන්තර ගමන් බිමන් සීමා කිරීම එහි අරමුණ නොවන බවද ඔවුන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ නව නීති හරහා විදේශයන්හිදී චීන පුරවැසියන් සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ ප්‍රකාශ සහ අදහස් සම්බන්ධයෙන්ද බීජිං පාලනයට ඇති අධීක්ෂණ හා පාලන බලය තවදුරටත් පුළුල් විය හැකි බවයි.