ආධුනික නාවිකයින් 269ක් අභිමානයෙන් විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්හි 264 වැනි බඳවා ගැනීමට අදාළ නවක නාවික භටයන් 269 දෙනෙකු සිය මූලික යුද හා නාවික පුහුණු කටයුතු සාර්ථකව නිම කරමින් ඊයේ (04) දින විසිර ගියහ.
පූනෑව පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා 'ශික්‍ෂා' ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී මෙම අභිමානවත් විසිරයාමේ ආචාර පෙළපාලිය පවත්වනු ලැබීය.
මෙලෙස මව්බිමේ ස්වෛරීභාවය සුරැකීමේ ජාතික මෙහෙවරට එක්වූ පිරිස අතරට නිත්‍ය බලකායේ ආධුනික නාවිකයන් 249 දෙනෙකු සහ ස්වේච්ඡා බලකායේ ආධුනික නාවිකයන් 20 දෙනෙකු ඇතුළත් වන බව නාවික හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේය.
නාවික හමුදාවේ ප්‍රමුඛතම සහ කීර්තිමත් විද්‍යාපීඨයක් වන පූනෑව 'ශික්‍ෂා' ආයතනය තුළ මාස කිහිපයක් තිස්සේ ලබාදුන් දැඩි න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවීම් නිම කළ මෙම නවක පිරිස දේශයට සේවය කිරීම සඳහා දැන් සර්ව සම්පූර්ණ නාවිකයන් ලෙස සුදුසුකම් ලබා සිටිති.
මෙවර ආචාර පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා සහභාගී වූ අතර, පුහුණු කාලසීමාව තුළ විවිධ අංශවලින් සුවිශේෂී දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් වෙනුවෙන් සම්මාන සහ කුසලාන පිරිනැමීම ද ඒ මහතා අතින් සිදු කෙරිණි.
ඒ අනුව, 264 වැනි බඳවා ගැනීමේ සමස්ත අංශවලින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි සම්මානය ආධුනික නැවි එම්.ඩී.පී.එච්. දිසානායක විසින් දිනාගන්නා ලදී. සියලුම විෂය ධාරාවන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් දක්ෂතම නාවිකයා ලෙස ආධුනික නැවි එස්.ඒ. තල්පගේ ද, දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික නැවි පී. කම්සන් ද සම්මානයට පාත්‍ර වූහ.
එමෙන්ම, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ආධුනික කාන්තා නැවි එච්.ඒ.ඒ. රුවන්තිකා කුසලාන දිනාගත් අතර, හොඳම වෙඩික්කරු හෙවත් දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය ආධුනික නැවි එන්.මී.ඩී.එල්. නවරත්න වෙත හිමි විය.
මීට අමතරව පුහුණු කටයුතුවලදී දක්ෂතම කණ්ඩායම හෝ අංශය ලෙස ඉදිරියෙන් සිටි 'රණජය' අංශය මෙවර අභිමානවත් කුසලානය තමන් සතු කරගැනීමට සමත් විය.