වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට
ඉදිරි 2026 අයවැය සඳහා බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්රවලින් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ අතර, එම ක්ෂේත්රවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනයට දායක වීමේ ඉලක්ක සපුරාලීම පිළිබඳව ජනපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණු පූර්ව අයවැය සාකච්ඡාවකදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී, ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීමට බැංකු ක්ෂේත්රයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුවූ අතර, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වැඩසටහන් පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම් වැනි යෝජනා ඉදිරිපත් විය.
මෙම යෝජනා ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
රක්ෂණ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්ට මෙවැනි පූර්ව අයවැය සාකච්ඡාවකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය වන අතර, ඔවුන් රජයේ මෙම ආරාධනාව සඳහා සිය ප්‍රසාදය පළ කළහ. මෙම සාකච්ඡාවන් හරහා ලබාදුන් සියලුම යෝජනා ආර්ථික සංවර්ධනයට දායක වන ආකාරයට අයවැය සකස් කිරීමේදී යොදාගැනීමට රජය කැපවී සිටියි.
එමෙන්ම, ඔටෝමොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් ද පූර්ව අයවැය සාකච්ඡාවක් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදීම අද පැවැත්විණි. වත්මන් ආණ්ඩුවේ වාහන ආනයනය සම්බන්ධ තීරණ හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ, ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක් ඉදිරිපත් කළහ. මෙම යෝජනාවලට අමතරව, වාහන ආනයනයේ ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ බදු සංස්කරණයන් සම්බන්ධ යෝජනා ඇතුළත් වේ.
විද්‍යුත් උපකරණ ආනයනකරුවන් ක්ෂේත්රයේ මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසින් මෙරටට ගෙන එන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළඳපොළ අසමතුලිතතාවක් ඇතිවීම මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව ඔවුන් පෙන්වා දුන්හ. මෙම ගැටලුවලට විසඳුම් ලෙස ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ආනයනය කිරීම සඳහා නව නීති ගෙන ඒම, බදු දැලෙන් රිංගන භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි යෝජනා ඉදිරිපත් විය. මෙම යෝජනා අයවැය සකස් කිරීමේදී යොදාගැනීමට සහ නීති රාමුවක් හඳුන්වාදීමට රජය කැපවී සිටියි.
මේ අතර, සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්රය සම්බන්ධයෙන් ද පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ලේකම් කාර්යාලයේදීම අද පැවැත්විණි. මෙහිදී ද ක්ෂේත්රයේ ගැටලු සහ යෝජනා ඉදිරිපත් වූ අතර, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදුවිය.
මෙම පූර්ව අයවැය සාකච්ඡාවන් හරහා ලබාගත් යෝජනා ඉදිරි 2026 අයවැය සකස් කිරීමේදී රජයේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලීමට යොදාගැනීමට බලාපොරොත්තු වන අතර, රටේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස මෙය සැලකෙයි.