කැරපොත්තෝ පැය 24න් පන්නා දමන්න ස්වාභාවික ක්‍රම 10ක්

Cockroaches
By Thaya Jan 18, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

කුහුඹුවන් සහ කැරපොත්තන් කියන්නේ නිවාස ආශ්‍රිතව වාසය කරන ඉතාම කරදරකාරී සත්ත්ව විශේෂයන් කිහිපයක්. මෙවැනි කරදරකාරීන් නිසා අපගේ නිවෙසෙහි ජලය, මුළුතැන්ගෙය පමණක් නොව ඇඳුම් අල්මාරි හා ආහාරපාන පවා අපවිත්‍ර වෙනවා. එමෙන්ම විසබීජ මඟින් ලෙඩරෝග බෝවීමද සිදු වෙනවා.

මෙම කෘමීන්ගේ කෘමි උවදුරෙන් ගැලවීම සඳහා භාවිත කරන විවිධ කෘත්‍රිම ස්ප්‍රේ වර්ග, දියර වර්ග, කුඩු වර්ග, චෝක් වර්ග, රසායනික ද්‍රව්‍ය අඩංගු කැට වර්ග ආදිය දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් සමේ ආසාදන තත්ත්වයන් පවා ඇතිවිය හැකිය. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටිනවා නම් කෘත්‍රිම ස්ප්‍රේ වර්ග භාවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.

කැරපොත්තන් සහ කුහුඹුවන් නිවෙසක මුළුතැන්ගෙය තුළ බහුලව දක්නට ලැබෙනවා නම් එය ඉතාම අප්‍රියජනක ස්ථානයක් බවට පත් වෙනවා. එමෙන්ම මුළුතැන්ගෙය තුළ නිතරම ආහාරපාන සකස් කරන නිසාත් ඉවත දමන ඉඳුල් ආදී අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර නොකරන විටදීද කැරපොත්තන් ඉතා ඉක්මනින් බෝවීම සිදුවෙනවා. ඒ නිසා නිවෙසක මුළුතැන්ගෙය නිතරම පිරිසුදුව පවත්වාගත යුතුයි. තවද ආහාරපාන ගබඩා කර තබන බඳුන්, පැන්ටි්‍ර කබඩ්, පිඟන් රාක්ක ආදී ස්ථාන නිතරම පිරිසුදුව තබා ගැනීමද වැදගත්.

විශේෂයෙන්ම කෘමි උවදුරුවලින් මිදීම සඳහා ස්වාභාවික ක්‍රම භාවිත කිරීම ඉතාම සුදුසුයි. එනිසා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසා ගත හැකි මෙම උපක්‍රම ඔබත් අත්හදා බලන්න.

කැරපොතු උවදුරෙන් මිදීම සඳහා තේ ගසේ තරමක් මෝරපු පත්‍ර කැරපොත්තන් නිතර ගැවසෙන ස්ථානවල තබන්න.

සතියකට වතාවක් නිරීක්ෂණය කරමින් වියළී තිබෙන තේ පත්‍ර මාරු කරන්න. ආහාර වර්ග ගබඩා කරන භාජන වටේට ලුණු කුඩු ඉසින්න. ලුණු මඟින් කුහුඹුවන් පැමිණීම වළකනවා.

පිපිඤ්ඤා ගෙඩියේ නටුව සහිත පොත්ත කොටස කපා කැරපොත්තන් ගැවසෙන ස්ථානවල තබන්න. මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ එළවළු රාක්ක, පලතුරු අසුරා තබන බඳුන් සඳහායි.

බේකින් සෝඩා මේස හැන්දක්, සීනි මේස හැන්දක් සමඟ මිශ්‍ර කොට කුහුඹුවන්, කැරපොත්තන් නිතර ගැවසෙන ස්ථානවල ගොඩවල් ආකාරයට තබන්න.

දින කිහිපයකට වරක් පරික්ෂා කර බලා නැවත අලුත් කරන්න. අර්තාපල් අලයක් කුඩා කැබලිවලට කපා ඒවා මත බෝරික් කුඩු තවරා කැරපොත්තන් ගැවසෙන ස්ථානවල තබන්න. ඔබට බෝරික් අම්ලය සුපිරි වෙළෙඳසල්වලින් හෝ හාඩ්වෙයාර්වලින් මිලදී ගත හැකිය.

ලෙමන් ගෙඩියක යුෂ ජලය වීදුරුවක් සමඟ මිශ්‍ර කොට ස්ප්‍රේ කරන්න. කැරපොත්තන් හා කුහුඹුවන් ඉක්මනින් මර්දනය කරගත හැකිය. සතියකට වරක් මෙම ක්‍රමය සිදුකිරීම ඉතාම සුදුසුයි.

ලූනු, සුදු ලූනු, ගම්මිරිස් කුඩු බ්ලෙන්ඩර් කොට පේස්ට් එකක් සකසා බුරුසුවක් ආධාරයෙන් කෘමි සතුන් ගැවසෙන ස්ථානවල ආලේප කරන්න. සති දෙකකට වරක් අලුත් කරන්න.

දුම් කබලකට පොල් කටු අඟුරු දමා ඊට උඩින් කොහොඹ කොළ දමා කුහුඹුවන්, කැරපොත්තන් ආදී කෘමි සතුන් ගැවසෙන ස්ථානවලට දුම් අල්ලන්න.

විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී මුළුතැන්ගෙය තුළ බෝවෙන කැරපොත්තන්ගෙන් හා කුහුඹුවන්ගෙන් ආරක්ෂාවීමට මෙය කදිම උපක්‍රමයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව සේර දඬු කිහිපයක් කුඩාවට කපා තළා ගන්න. එය Ethyl Alcohol සමඟ මිශ්‍ර කොට දින 3 _ 4ක් පමණ තබන්න. ඉන්පසුව හොඳින් පෙරා ස්ප්‍රේ කරන්න. කෘමි උවදුරින් ඉක්මනින් මිදිය හැකිය.

කට කුඩා වීදුරු බෝතලයකට කෝපි කුඩු මේස හැඳි දෙකක් එකතු කොට එතිල් ඇල්කොහොල් ස්ප්‍රීතු 50ml දමා බෝතලයේ කට ඇතුළු පැත්තේ වැස්ලින් හෝ පෙට්ට්‍රෝලියම් ජෙල් ස්වල්පයක් ආලේප කරන්න.

එය කැරපොත්තන් ගැවසෙන ස්ථානයක තබන්න. මෙවැනි උපක්‍රමවලට අමතරව කෘමි උවදුරෙන් පහසුවෙන් මිදීම සඳහා ගෙවත්ත තුළ පහසුවෙන් වගා කළ හැකි පැළෑටි වර්ග රාශියක් තිබෙනවා.

ඒවා නම්,

ලැවන්ඩර් මල් පැළෑටිය කියන්නේත් කුඩා කෘමි සතුන්ට අහිතකර ශාකයක්. මෙහි පුෂ්පයෙන් හමන සුවඳ කුඩා කෘමි සතුන් නිවෙස් තුළට පැමිණීම වළක්වනවා.

කපුරු ශාකයේ මල් බොහෝ කාලයක් පර නොවී පවතිනවා. කපුරු මලේ සුවඳ නිසා කුඩා කෘමි සතුන් නිවෙස තුළට පැමිණීම අඩාල වෙනවා.

දාස්පෙතියා ශාකයෙහි මල්වලින් නිකුත්වෙන රසායනික ද්‍රව්‍යයන් කෘමි සතුන්ගේ ශ්වසනයට බාධා ඇති කරනවා. එනිසා එවැනි ශාක හැකි තරම් නිවෙස ආසන්නයේ වගා කිරීම සුදුසුයි.

මින්ට් නොහොත් මදුරුතලා ශාකයේ පත්‍ර පොඩිකර රාත්‍රි කාලයට කුහුඹුවන්, කැරපොත්තන් ආදී කෘමි සතුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල තැබීමෙන් කෘමි උවදුරින් ඉක්මනින් ගැලවිය හැකිය.

කුප්පමේනියා ශාකය වගා කිරීමෙන්ද කුහුඹු විශේෂයන් නිවෙසට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම පාලනය කරනවා.

සේර ශාකයෙන් නිකුත් වන පැඟිරි සුවඳ නිසාද කෘමීන් පැමිණීම වළක්වනවා. ගොඩසැල්වියා නොහොත් සේජ් ශාකය මල් පැළෑටියක් ලෙසින් වගා කිරීම ඉතාම සුදුසුයි.

රෝස්මරි ශාකය මල් පැළෑටියක් ලෙසත් ආහාර රසගන්වන පැළෑටියක් ලෙසත් ඉතාම ජනප්‍රියයි. මෙම ශාකයෙන් නිකුත් වන ඉමිහිරි සුවඳ කෘමි සතුන්ට අහිතකරයි.

සුදු ලූනු කියන්නේ ආහාර රසගන්වන ද්‍රව්‍යයක්. ඊට අමතරව සුදු ලූනු ශාකයක් ලෙසින් වගා කිරීම තුළින්ද කෘමි උවදුරින් ඉතා ඉක්මනින් මිදීමට හැකියාව ලැබෙනවා.

දිනූෂා මනෝරි නිශ්ශංක