වසර ගණනාවක ශාපය - තවදුරටත් වද දෙන අලින්ගේ ප්‍රශ්නය
"අපි ආණ්ඩුවක් විදිහට පත් වුණාට පස්සේ අලි ප්‍රශ්න, රිලවුන්ගේ ප්‍රශ්න, මොනරුන්ගේ-දඬුලේනන්ගේ ප්‍රශ්න අපේ ඇඟේ වැටිලා තියෙන්නේ, ඒ කට්ටිය අවුරුදු ගණනක් විසඳුම් හොයනවා කියලා නටපු ජෝගී අපේ ඇඟේ වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි ලෑස්තියි මේ සියලු පාර්ශවයන් එකතු කර ගෙන උත්තරයක් හොයන්න" යැයි ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තඹුත්තේගම නල්ලච්චිය ඇතුළු අවට ගම්මාන රැසක පවුල් 12 000 කට බලපා ඇති, වන අලි තර්ජනය පිළිබඳ සොයා බැලීමට නිලධාරින් පිරිසක් සමඟ ඊයේ දිනයේ (02) එම ක්ෂ්‍රේත්‍රයන් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීයි.
මෙම අවස්ථාවට මහවැලි අධිකාරි නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.
එහි දී ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ කොත්මල්පුර රක්ෂිතය වටා මහවැලි අධිකාරියේ මුල්‍ය දායකත්වයෙන්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂනයෙන්, ගම්වාසීන්ගේ ශ්‍රමදායකත්වයෙන් රුපියල් කෝටි 1 1/2 ක පමණ වියදමින් එල්ලෙන අලි වැටක් ඉදි කළ බවයි.
එහෙත් මේ වන විට එම අලි වැට අක්‍රීය තත්ත්වයේ පැවතීම හේතුවෙන් වන අලින් 20 දෙනෙකු පමණ අවට ගම්මානවලට පැමිණ හානි සිදු කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද ගම වන නල්ලච්චිය ප්‍රදේශයටද අලි ගමන් කරන්නේ මෙම රක්ෂිතයෙන් බැවින්, අදාළ අලි වැට ඉදි කිරීමේ දී වනජීවී දෙපාර්මේන්තුවට ගම්වාසීන් විසින් යකඩ බට වෙනුවට තේක්ක ලී යොදමු යනුවෙන් යෝජනා කර ඇත.
එහෙත් එය නොතකා වනජීවි දෙපාර්තමේන්තුවේ යෝජනාව මත යකඩ බට යොදා අලි වැට සකස් කිරීම නිසා මේ වන විට එම බට වන අලි පෙරළා දමා තිබේ. ඒවා පිළිසකර කිරීමට ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
තවද අලි වැටට යොදා ඇති විදුලි පද්ධතිය ප්‍රමාණවත් නොවන බවත්, වනජීවී දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල මෙම අලි වැට අක්‍රීය වීමට ප්‍රධාන හේතුව බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
තෙල්හිරියාව, කොත්මල්පුර, ඔරුගලයාය, ඒරියාගම, රාජපක්ෂාගම, සෝලම, කෝන්වැව, තලාව යන ගම්මානවලට බලපා ඇති මෙම වන අලි තර්ජනය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසුවේ "ගොවි සංවිධාන ප්‍රකාශ කරන විදිහට මේ සඳහා කෝටි 1 1/2 ක පමණ මුදලක් වැය කරලා තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා ගොවි ජනතාව එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය වැට හැදුවේ රජයේ මුදල්වලින් වුණාට, සම්පූර්ණ ශ්‍රමය ගොවියන්ගේ. ඒකයි මේක අගය කරන්න ඕනෙ, ගොවි සංවිධානවලට අනුව මේ අලි වැට ඉදි කරන්න සම්පූර්ණ ශ්‍රමය වගේම නඩත්තු කිරීමත් කරලා තියෙන්නේ ගොවියෝ. හැබැයි ගොවි ජනතාව පවසන විදිහට යකඩ කණු දාලා අලි වැට ඉදි කරපු එකේ වගේම මේකට සම්බන්ධ කරන විදුලි ප්‍රමාණයේත් තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් කිසිම පිළිතුරක් ලැබිලා නෑ. දැන් ගොවියෝ කුඹුරු වගා කරමින් තියෙන්නේ, ඒ නිසා මේ වෙලාවේ අලි වැට පිළිසකර කිරීම් සම්බන්ධයෙන් උත්තරයක් හෙව්වේ නැත්නම් තව සති දෙකක් මාසයක් යන විට අලි වී වගාවට හානි කරලා තමයි නතර වෙන්නේ. ඒ නිසා ඒකට අපි ගොවි සංවිධාන, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලිය එකතු කර ගෙන සාකච්ජා කරලා කඩිනම් විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
අලි අගල් කපන්න පටන් ගන්නකොටම අපි කිව්වා ඕක සාර්ථක නෑ කියලා. අන්තිමේ දී වුණේ ඇමතිතුමයි, ඇමතිතුමාගේ ගෝලයෝ ටිකයි අගලක් කපනවා කියලා පස් ටික කපලා විකුණපු එක. ඒ නිසා මේ අලි ප්‍රශ්නය සම්බන්ධයෙන් විද්‍යානුකූල විසඳුමක් ඕනෙ, මේ වන අලි ප්‍රශ්නය කියන එක හරි සංකීරණයි. ඒකට විසඳුමක් හොයන්න හැම පාර්ශවයක්ම එකතු වෙන්න ඕනෙ, මේ දක්වා බැලුවොත් අලි වැටවල්වලට කෝටි-ප්‍රකෝටි ගණන් වියදම් වෙලා තියෙනවා. නමුත් මේක විධිමත් ආකාරයට කෙරුනු බවක් පේන්න නෑ. ඒ නිසා අපේ රජයේ අදහස තමයි මේකට ගොවි ජනතාවත්, රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශත් ඒකාබද්ධ වෙලා විසඳුමක් හොයන්න ඕනෙ කියන එක, මේ දක්වා කරපු ඔක්කෝම අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවක් විදිහට පත් වුණාට පස්සේ අලි ප්‍රශ්නය, රිලවුන්ගේ ප්‍රශ්නය, මොනරුන්ගේ - දඬුලේනන්ගේ ප්‍රශ්නය අපේ ඇඟේ වැටිලා තියෙන්නේ, ඒ කට්ටිය අවුරුදු ගණනක් විසඳපු නැති එක විසඳුම් හොයනවා කියලා නටපු ජෝගී අපේ ඇඟේ වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි ලෑස්තියි මේ සියලු පාර්ශවයන් එකතු කර ගෙන උත්තරයක් හොයන්න. අපේ රජය පත් වෙලා සතී කීපයකින්ම වන අලි ප්‍රශ්නය උග්‍ර වුණා, ඊට පස්සේ අපි වනජීවී දෙපාර්තමේන්තුව එක්ක කථා කළාම ඒ වෙලාවේ උත්තරයක් තමයි අලි ටික වනාන්තරවලට පළවා හරින එක. ඒකට අපි යම් උත්සහයක් දැරුවා, යම් යම් තැන්වල සාර්ථක වුණා, යම් යම් තැන් වල අසාර්ථක වුණා, ඊට පස්සේ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව රැසක් සමඟ කරපු සාකච්ජාවකදී අලි ගම්වදින ස්ථාන රැක ගන්න යම් ක්‍රමවේදයක් හදමු කියලා ඒකටත් ක්‍රියාමාර්ග ගත්තා, මේකට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගමු කියලා ගොවියන්ගේ, නිලධාරීන්ගේ පැත්තෙන් වගේම වනජීවී එක පැත්තෙනුත් ඉල්ලීමක් තිබුණා. ඒකටත් අපි සාකච්ජා කළා. යම් ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා, අලි ප්‍රශ්නය ඇතුළු වන සත්ව හානී වළක්වා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟය, පුහුණුව, වාහන, තාක්ෂණය, මුදල් ඒ ඔක්කොමත් ඕනෙ. ඒවා ක්‍රමිකව සම්පූර්ණ කරමින් ක්‍රියාමාර්ග ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. වන සත්ව හානී සම්බන්ධයෙන් අපි අවධානයෙන් බලන රජයක්, මේ සම්බන්ධයෙන් සිටින විද්වතුන් සමඟ, පරිසරවේදීන්, වනජීවී හා වන සංරක්ෂණ සම්බන්ධ ප්‍රවීණයන්ගේ අදහස් අනුව තමයි අපි මේ සංගණනයට යමු කියන අදහසට ආවේ, සංගණනය කියන වචනයේ ප්‍රශ්නයක් තියෙනවා. මේක සංගණනයක් නෙමෙයි සමීක්ෂණයක්, සංගණනයක් කිව්වම අපිට අදහස් වෙන්නේ, ජන සංගණනයක් වගේ දෙයක්. කොච්චරක් ඉන්නවාද? කොහේද ඉන්නේ? රංචු කීයක් ඉන්නවාද වගේ දළ අදහසක් ගන්න. ඒකට අදාළ දත්ත ඇවිල්ලා තියෙනවා. ඔවුන් ඒ දත්ත විෂ්ලේෂණය කරමින් ඉන්නවා. ඒ සම්බන්ධ අදහසක් අරගෙන තියෙනවා. අපේ ඊළඟ ක්‍රියාමාර්ගවලට ඒවා ඉවහල් වෙනවා. ඒ නිසා ඒක විද්‍යානුකූලයි, අපි ඒක කළා, ජනතාව හා නිලධාරීන් එකතු වුණා'' යනුවෙන් පැවසීය.
