රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් අහෝසි ද? නැත්නම් සංශෝධනයක්ද?
2016 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය සේවයට බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම් සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
2016 අයවැය යෝජනාවකට අනුව, එම දිනයෙන් පසු බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල “මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය.” යනුවෙන් විධිවිධානයක් ඇතුළත් කර තිබුණා. මෙය රාජ්‍ය නිලධාරීන් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණින් සිදු කළ දෙයක්.
නමුත්, එම දිනයෙන් පසු පත්වූ නිලධාරීන් සඳහා නව දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයටම ඔවුන්ගේ හිමිකම තහවුරු කිරීම සඳහා 2026 අයවැය යෝජනාවකින් මෙම කොන්දේසිය සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, එම පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය “මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.” යනුවෙන් සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කිරීමටත් තීරණය වී තිබෙනවා.
මෙම සංශෝධනය මඟින් 2016 ජනවාරි 01 සිට බඳවාගත් රාජ්‍ය නිලධාරීන්ට පවතින (අනුපූරක නොවන) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේම ස්ථිර විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු වන අතර, පෙර තිබූ අවිනිශ්චිතභාවය දුරු කිරීමට මෙය බලපාන බව වාර්තා වෙනවා. මෙය රජයේ මූල්‍යමය බරපතලකමක් ලෙස සැලකෙන අනුපූරක නොවන විශ්‍රාම වැටුප් පද්ධතිය තුළ තවදුරටත් පවත්වාගෙන යාමේ තීරණයක් ලෙසද විශ්ලේෂකයින් හඳුනාගෙන තිබෙනවා.
අදාළ චක්‍රලේඛ හා උපදෙස් ඉදිරි කාලයේදී නිකුත් කිරීමට නියමිතයි.