දියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානයේ අපූරු වෙනසක්
හම්බන්තොට , රිදියගම සෆාරි උද්‍යානයේ පැවති සමනල උද්‍යානය නවීකරණය කර එළැඹෙන ජුනි 3වැනිදා සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ .
මෙම උද්‍යානය කලක සිට අක්‍රීය තත්ත්වයක පැවතුණි. ඒ නිසි ලෙස නඩත්තු නොවීම හේතුවෙණි. ඒ හේතුවෙන් පරිසර දිනය නිමිත්තෙන් එය නවීකරණය කර මෙලෙස විවෘත කිරීමට කටයුතු යොදා තිබේ .
අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා මෙම කරුණු අනාවරණය කර ඇත.
එතුමා තව දුරටත් සදහන් කළේ සමනලුන්ට විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් එය අලංකාරවත් ලෙස නැරඹීමට අවස්ථාව උදාකර ඇති බවයි . මෙරට තුළ සමනලුන් වර්ග 248ක් වාර්තා වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට අවේණික සමනලුන් වර්ග 31ක් සිටින බව එතුමා අනාවරණය කර තිබේ.
ඉන් හම්බන්තොට සෆාරි උද්‍යානය පිහිටි සමනල උයන ආශ්‍රිතව සමනලුන් වර්ග 60ක් පමණ වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"වැඩි සමනලුන් ගණනාවක් ආකර්ෂණය කරගනිමින් ඉතා අලංකාරවත් ලෙස නරඹන්නන් වෙත හඳුන්වාදීමට සූදානම් කර තියෙන්නේ. ඒත් එක්කම අපි ගිය මාසයේදී අලුතෙන් විවෘත කළා 'නිදහස් පක්ෂි අරණක්. දේශීය සහ විදේශීය පක්ෂීන් ගණනාවක් මෙම පක්ෂි අරණ තුළ නිදහසේ ජීවත් වෙනවා. අපට කූඩුවක් තුළ ඉන්න පක්ෂීන් වෙනුවට නිදහස් පරිසරයක ඉන්න පක්ෂීන් නැරඹීමට මෙහි අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මෙම පක්ෂි අරණත් මෙම සමනල උද්‍යානයත් අතර මුළු කලාපයම, පාරිසරික කලාපයක් විදිහට හඳුන්වාදීම තමයි මෙවර පරිසර දිනයේදී අපි විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ" යැයි පැවසීය.