මේ ආණ්ඩුව කවදාවත් කුඩා තේ හිමියාවත් ගොවියාවත් තනි කරන්නේ නෑ. - ඇමති වාසුදේව
ආණ්ඩුව ගොවියන්ගේ ආණ්ඩුවක් මේ ආණ්ඩුව තේ කට්ටිකරුවන්ගේ, කුඩා තේ ඉඩම් හිමියන්ගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව කවදාවත් කුඩා තේ හිමියාවත් ගොවියාවත් තනි කරන්නේ, අතරමං කරන්නේ නෑ.
නමුත් මේ කාබනික පරිවර්තනය මේ රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. හදිසි වෙලා තියෙනවා. මොකද මේක පටන් ගැන්මක්. නැතුව කවදාවත් ප්‍රගතියක් ලබාගන්න බෑ. භූතානයට වෙලා තියෙන්නේ එකයි. පටන්ගත්තේ ටිකෙන් ටික කියලා. හැමදාම ටිකෙන් ටික. ඒ නිසා කවදාවත් ඒක කෙළවරකට ආවේ නෑ. දැන් ඒ නිසා තමයි අපි තීන්දු කරලා තියෙන්නේ මෙය ටිකෙන් ටික නොවෙයි වහාම දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා, කොම්පෝස්ට් පොහොර හැම ගමකම අපට හදාගන්න පුළුවන්. ඒකට වුවමනා කරන ද්‍රව්‍ය ගම් මට්ටමින් ඕනෑ තරම් තියෙනවා. එහෙම නැත්තම් ද්‍රව්‍ය සපයාගන්න පුළුවන්. ඊළඟට ඒ සඳහා අවශ්‍ය වන බැක්ටීරියාව ක්‍රියාත්මක කරන දියරය. එයත් දැන් සපයන්න කටයුතු කර තිබෙනවා.
ඉතින් ගොවියන්ට මේවා ආණ්ඩුව සපයනවා නම් පළවෙනි කන්නයේදී නැත්තම් පළවෙනි වටයේ දී, එහි පූර්ණ ප්‍රතිඵලය ගන්න බැරි වුනත් දෙවැනි වටය වන විට මෙය සාර්ථක වන බව කෘෂිකර්මාන්තය පිළිබඳ විද්වතුන්ගේ මතයයි. ඊට අමතරව වගාවන් සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණයත් අඩුවෙනවා. වියදමත් අඩුවෙනවා. මේක තමයි කෘෂිකාර්මික ගැමි ජන විප්ලවය. ගොවියාගේ හා කුඩා තේ කට්ටිකරුවාගේ ආදායම වැඩිකිරීම.
වියදම අඩුකිරීම. ඔවුන්ගේ පස සරු කිරීම. මෙය නොකර කවදාවත් මේ රටේ කෘෂිකර්මයට ගොඩ එන්න බෑ. අපට මේ කාර්යයයේ දී මේ රටේ දැනට කාබනික පොහොර නිපදවන ඒ ගැන අත්හදා බලාපු අය දැනට දශකයටකට වැඩි කාලයක් ඒවායේ පල ප්‍රයෝජනය පෙන්වා දී තිබෙනවා. අපට අද තියෙන්නේ මේ සඳහා නිර්භයව ඉදිරිපත් වීම පමණයි. නිර්භයව ක්‍රියාත්මක වන්න.
ඒ අතර ගොවියාට මේ කරන වැඩපිළිවෙල පිළිබඳව අපගේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිළධාරීන් මඟින් සංවර්ධන නිළධාරී මඟින් ප්‍රාදේශීය කෘෂිකාර්මික සම්බන්ධීකරණ කමිටු හරහා ගොවි සංවිධාන දැනුවත් කර, ඔවුන්ට නායකත්වය ලබාදී ගොවීන් සම්බන්ධ කරගෙන මෙම දැනුවත් කිරීම සහ ක්‍රියාත්මක වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යෑම කළ යුතුම දෙයක්. ඒ තුලින් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගත හැකි බව මාගේ විශ්වාසයයි. ගොවියෝ දන්නවා බොහෝ විට මොනවද මේ කාබනික පොහොර කියලා.
ඒ කියන්නේ කොහොමද කොම්පෝස්ට් ඒක හදාගන්න පුළුවන් කියලා. වුවමනා කරන්නේ බැක්ටීරියාව ක්‍රියාත්මක කරන දියරය. ඒක ආණ්ඩුව සපයන්න ඕනේ. ආණ්ඩුව ඒක වගකීම භාරගන්නවා. ගොවීන්ට තමන්ගේ අස්වැන්නේ අඩුවීමක් වෙනවා නම් එයින් ඇතිවන අලාභයත් ආණ්ඩුව බලාගන්නවා.
තේ කට්ටිකරුවන් පිළිබඳවත් ආණ්ඩුවේ වගකීම ආණ්ඩුව අත්හරින්නේ නෑ යැයි ද ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය..
මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂ (මාධ්‍ය) 2021.06.18
ජල සම්පාදන අමාත්‍යාංශය