බැංකු සේවක සංගමයකින් රජයට අනතුරු ඇඟවීමක්

BOC sell lands ancient buildings selandiva company GOH building
By Sewvandhi Jun 21, 2021 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අගනගරයේ පිහිටි ඉපැරණි ගොඩනැගිලි සමූහයක් විදේශිකයන්ට පවරා දීමට එරෙහිව පොදු විරෝධයක් පෙළ ගස්වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් ආණ්ඩුවට අනතුරු අගවනවා. පසුගිය රජය යටතේ විදේශිකයන්ට විකුණා දැමු රාජ්‍ය දේපල නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි වත්මන් රජයද ඉතාම නිර්ලජ්ජිත ලෙස එයම කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ සෙලන්දිවා නැමැති ආයතනයක් ගොඩනඟා එම ආයතනය යටතට කොළඹ කොටුවේ පිහිටි ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිළි රාශියක් පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

"ඒ අනුව කොළඹ මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ලංකා බැංකු යෝර්ක් වීදිය ගොඩනැගිල්ල (GOH Building), හිල්ටන් හෝටලය, හයිට් (Hytt) ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි සමූහයක් පළමු අදියරේදී පවරා ගැනීමටයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ."

මෙම ගොඩනැගිලි වලින් බහුතරයක් යටත් විජිත සමයේ ඉදිකරන ලද පුරාවස්තු ගණයෙහි ලා සැලකෙන ඒවායි. 1955 අගෝස්තු මස 01 වන දින ලංකා බැංකුව විසින් මිලදී ගනු ලැබූ යෝර්ක් වීදිය ගොඩනැගිල්ල වසර 30 කට අධික කාලයක් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ලෙස ද භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් බවයි ලංකා බැංකු සේවක සංගමයේ පෙන්වා දෙන්නේ.

පෞරාණික හා සංස්කෘතිමය වටිනාකමින් අනූන මෙම ගොඩනැගිල්ල ලංකා බැංකුවට අයත් වුවද එය පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද සහිත “සමස්ත ජාතියේම අභිමානය විදහා දක්වන සංකේතයක්” වනවා. වෘත්තිය සමිති පෙන්වා දෙන පරිදි මෙම සෙලන්දිවා ආයතනයේ හිමිකාරිත්වයෙන් 34% ක් ආයෝජකයන් සඳහා විවෘත වන අතර,වය විසින් පිහිටුවන උප සමාගම් පූර්ණ පෞද්ගලික ව්‍යාපාර වන බැවින්, රාජ්‍ය විගණනයෙන් හා කෝප් කමිටුවට ඇති වගකීමෙන් නිදහස් වෙනවා.

මෙම සැලැස්ම රාජ්‍ය දේපලවල සාරය උරාබිම සඳහා ගොඩනගන ලද උපායශීලී සැලැස්මක් බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම සමාගම කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත සමාගමක් බවට සෙලන්දිවා ලෙෂර් (Selendiva Leisure) සමාගම මෙම මසදී කොළඹ කොටස් හුවමාරු වෙළඳපළෙහි ලියාපදිංචියට සුදානම් වන බවට තොරතුරු ද ලැබී ඇති බවයි ලංකා බැංකු සේවක සංගම් සභාපති රන්ජන් සේනානායක පවසන්නේ.

ඔහු පවසන පරිදි කොළඹ කොටුව ප්‍රදේශයේ ඇති ආර්ථික මර්මස්ථානයන්,ඓතිහාසික, සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මක අති විශාල වටිනාකමකින් යුතු ගොඩනැගිලි මේ ආකාරයට පෞද්ගලික අංශයට හෝ ජාත්‍යන්තර ආයෝජකයන්ට පැවරිමට ගන්නා ලද තීරණය නතර කරන මෙන් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දීමටත් සංගමය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ආගමික නායකයන්,දේශපාලන පක්‍ෂ නායකයන්,දේශපාලඥයන් හා සිවිල් ක්‍රියාධරයන් හා එක්ව රට තුළ මතු වී තිබෙන වසංගත තත්වයට මුවා වී ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයාට අයිති පොදු දේපල මේ ආකාරයට කූට ලෙස විකුණා දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි ලංකා බැංකු සේවක සංගමයේ පෙන්වා අනතුරු අඟවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now