ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) ප්‍රකාශ කරන ආකාරයට මෙම 2025 වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවූ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6,512ක් ලැබී තිබෙනවා.
ඒ අනුව අඳාළ පැමිණිලිවලින් 1,198ක් මුදල් වංචාවන්ට අදාළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කරයි.
එසේම එම පැමිණිලිවලින් බහුතරය ෆේස්බුක් ව්‍යාජ ගිණුම් හරහා සිදුකළ වංචා, අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිංසනය, අපහාස කිරීම් සහ වට්ස්ඇප් ගිණුම් හැක් කිරීම් ආදියට සම්බන්ධ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මින් පෙරද අවස්ථා ගණනාවකදීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි අපරාධ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කළ ද එය තවමත් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
කෙසේ වුවද මෙම අපරාධවලට ලක්වීමට නොදැනුවත්කම ද හේතුවක් වන බැවින් කුඩා දරුවන් සමාජ මාධ්‍ය භාවිත කරන විට දෙමව්පියන් නිරතුරුවම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවට බලධාරීන් ඉල්ලා සිටියි.