ලංකාවේ රන් වෙළඳපොල උණුසුම් වෙයි - පසුගිය දින තුනේ මිල වෙනස්කම් මෙන්න
ගෝලීය වෙළෙඳපොළේ රන් මිල වේගයෙන් පහත වැටෙමින් පවතින අතර, ශ්රී ලංකාවේදී පසුගිය දින තුන තුළ (බ්රහස්පතින්දා සිට ඊයේ දක්වා) රන් මිල රුපියල් 29,000කට ආසන්න ප්රමාණයකින් පහත වැටී ඇත.
අද (22) දිනයේදී ද රන් මිල තවත් රුපියල් 10,000කින් පමණ පහත වැටී ඇති බව වෙළෙඳපොළ තොරතුරුවලින් හෙළි වේ.
කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරුවලට අනුව;
- කැරට් 22 රන් තීරුවක මිල ඊයේ (21) රුපියල් 347,800ක් ලෙස වාර්තා වූ අතර, අද එය තවදුරටත් පහත වැටී ඇත.
- කැරට් 24 රන් තීරුවක මිල ඊයේ රුපියල් 378,000ක් ලෙස වාර්තා වූ අතර, රන් බාර් එකක මිල රුපියල් 388,000ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
- කැරට් 22 රන් බාර් එකක මිල රුපියල් 357,000ක් ලෙස ද වාර්තා විය.
මෙම මිල පහත වැටීම් සමඟ කැරට් 24 රන් බාර් එකක මිල රුපියල් දහ දහසකින් සහ කැරට් 22 රන් බාර් එකක මිල රුපියල් 9,200කින් පහත වැටී ඇත.
ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අවුන්සයකට ඩොලර් 4,490 සිට 4,507 දක්වා පහත වැටී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙයි. මෙම පහත වැටීමට ප්රධාන හේතුව ලෙස ගෝලීය ආර්ථික තත්ත්වයන්හි වෙනස්කම්, ඩොලරයේ ශක්තිමත් වීම සහ ආයෝජකයින්ගේ වෙළෙඳපොළ චර්යාවන් හඳුන්වා තිබේ.
මෙම දැඩි මිල පහත වැටීම හේතුවෙන් රන් මිලදී ගැනීමට සැලසුම් කළ පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණු නමුත්, රන් අලෙවිකරුවන් සහ ආයෝජකයින් අතර අවිනිශ්චිතභාවයක් ඇති වී ඇත. ඉදිරි දිනවලදී රන් මිල තවදුරටත් පහත වැටීමේ හෝ නැගීමේ ඉඩකඩක් පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.